ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය ඇරඹේ

135
0

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංවිධාන කරනු ලබන දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩංගණයේදී දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මේ 23වැනිදා දක්වා පැවැත්වෙන ශූරතාවලියට සහභාගීවීමට අපේක්ෂාවෙන් සිටි ඇෆ්ගනිස්තානය අවසන් මොහොතේ තරගාවලියෙන් ඉවත්වූ අතර රටවල් 6කින් පිහිනුම් ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 179ක් සහභාගී වෙති. ඇෆ්ගනිස්තානය දැනුම්දී ඇත්තේ අභ්‍යන්තර අර්බුද හේතුවෙන් තරගාවලියට සහභාගී නොවන බවය.

ඉන්දියාවෙන් ක්‍රීඩිකාවන් 22ක් හා ක්‍රීඩකයන් 31ක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර, ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් 42ක් හා ක්‍රීඩකයන් 45ක් සහභාගී වේ. මාලදිවයිනෙන් ක්‍රීඩිකාවන් 16ක් හා ක්‍රීඩකයන් 7ක් පැමිණ සිටි අතර බංග්ලාදේශයෙන් ක්‍රීඩිකාවන් හා ක්‍රීඩකයන් 4 බැගින් එක්ව සිටිති. නේපාලය නියෝජනය කරමින් ක්‍රීඩකයන් 4ක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

දකුණු ආසියානු පිහිනුම් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් අත්කරදුන් මැතිව් අබේසිංහ, චෙරන්ත ද සිල්වා, මචිකෝ රහීම්, කිමිකෝ රහීම් වැනි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සුගතදාස පිහිනුම් තටාකයේ පෙරැළිකාරී දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂාවෙන් පසු වේ.

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර පිහිනුම් තරගාවලියක් වසර 10කට පසුව සංවිධානය කිරීම විශේෂත්වයක් වන අතර අවසන් වරට මෙවැනි තරග රැසක් ශ්‍රී ලංකාව තුළ පැවැතියේ වසර 2006දී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදීය.

පිහිනුම් තරග 15න් පහළ, 18න් පහළ හා විවෘත අංශ වලින් පැවැත්වෙන අතර කිමිදුම් තරග ඛාණ්ඩ 4ක් යටතේ හා දිය පන්දු තරග 20න් පහළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කිලෝමීටර් 5ක් දුර විවෘත ජල පිහිනුම් ශූරතාව ඔක්තෝබර් 23දා ගාලු මුවදොර වෙරළ තීරයෙන් ආරම්භවී වැල්ලවත්ත දෙසට ගමන් කෙරේ.

දින 5ක් පුරා පැවැත්වෙන දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියේදී ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රන් පදක්කම් 252ක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

Comments

comments

SHARE