රිදී කුසලානය දිනන්න කිරුළපන සහ හේනමුල්ල ගැටෙයි

112
0

කොළඹ පාපන්දු ලීගය සංවිධාන කරන ‘රිදී කුසලාන’ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය මේ 23වැනි ඉරිදා පස්වරු 4ට කොළඹ සී. ආර්. පිටියේදී පැවැත්වෙයි. පසුගිය වසරේ අනු ශූරතාව දිනාගත් කිරුළපන යුනයිටඩ් හා තොටළග හේනමුල්ල යුනයිටඩ් අතර පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන්ට රුපියල් 25000ක් හා රිදී කුසලානය හිමිවන අතර අනු ශූරයන්ට රුපියල් 15000ක් පිරිනැමේ.

කිරුළපන යුනයිටඩ් පිල අවසන් පූර්ව තරගයේදී ගෝල් 3-0ක් ලෙස ඕල්ඩ් ජෝස් ක්‍රීඩා සමාජය පරාජය කළ අතර හේනමුල්ල යුනයිටඩ් පිල කොළොන්ස් ක්‍රීඩා සමාජය ගෝල් 2-1කින් පරදා අවසන් සටනට පිවිසියේය.

කිරුළපන යුනයිටඩ් අර්ධ අවසන් පූර්ව තරගයේදී නිව් ස්ටාර් පිල ගෝල් 1-0කින්, පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ සිටි ක්‍රීඩා සමාජය ගෝල් 3-1කින් පරාජය කිරීමට සමත් විය.

හේනමුල්ල යුනයිටඩ් පිල වෙතින් අවසන් පූර්ව තරගයේදී රත්නම් පිල දඩුවම් පහර 3-1කින් පරාජයවූ අතර පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී චැලෙන්ජර්ස් පිල ගෝල් 3-1කින් පරාජය විය. එල්. කේ. ප්‍රියන්ත මහතාගේ පුහුණුව යටතේ කිරුළපන යුනයිටඩ් පිල පිටියට පිවිසෙන අතර කවීන්ද මධුෂාන් නායකත්වය උසුලයි.

හේනමුල්ල යුනයිටඩ් පිලේ පුහුණුකරු මොහොමඩ් රසීක් මහතා වන අතර නායකත්වය එම්. එච්. රිසාන්ට පවරා ඇත.

‘රිදී කුසලාන’ පාපන්දු තරගාවලියට කණ්ඩායම් 20ක් එක්ව සිටි අතර ආරම්භයේ සිට මෙවර තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගත් බව කොළඹ පාපන්දු ලීගයේ ලේකම් හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී මහතා පැවැසීය.

අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර මහතා සහභාගී වේ.

Comments

comments

SHARE