දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේදී කිමිකෝ සහ රමුදි නව ශ්‍රී ලංකා වාර්තා බිහි කරයි

108
0

දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියේදී කිමිකෝ රහීම් හා රමුදි සමරකෝන් ශ්‍රී ලංකා වාර්තා දෙකක් සමග රන් පදක්කම් දිනා ගනියි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මෙම ශූරතාවලියේ පළමු ඉසව්වවූ මීටර් 200 කාන්තා 15න් පහළ ළය ආර විනාඩි 2: 46.54කින් නිම කරමින් රමුදි සමරකෝන් නව ශ්‍රි ලංකා වාර්තාව බිහි කළේ ඉන්දියාවේ ගුවහාතීහී නිමාවට පත්වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී හසන්ති නුගවෙල විනාඩි 2: 49.17කින් පිහිටුවා තිබූ වාර්තාව මකා දමමිණි. මෙහි රිදී පදක්කම ද ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කළ ෂනලී පෙරේරා විනාඩි 2: 50.66කින් තරගය නිම කළ අතර ඉන්දියාවේ ෂිල්කි මුකේෂායී විනාඩ් 2: 51.83කින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

මීටර් 200 කාන්තා 18න් ඉහළ නිදහස් ආර තරගය විනාඩි 2: 07. 83කින් නිම කළ කිමිකෝ රහීම් නව ශ්‍රී ලංකා වාර්තාව පිහිට වූයේ ඇයගේම සොහොයුරියවූ මචිකෝ රහීම් ගුවහාතී හී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී විනාඩි 2: 09. 02කින් තබා තිබූ වාර්තාව අභිබවා යමිනි. මේ ඉසව්වේ රිදී හා ලෝකඩ පදක්කම් ඉන්දියාව සතුවූ අතර පිළිවෙලින් ධාමිණී ක්‍රිෂනප්පා විනාඩි 2: 10.56කින් හා සරද්ධා සුදීර් විනාඩි 2: 15.78කින් එම දක්ෂතා දැක්වුහ.

මැතිව් අබේසිංහගේ බාල සොහොයුරු කයිල් අබේසිංහ ද ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙමින් මීටර් 200 පිරිමි නිදහස් ආර ඉසව්ව විනාඩි 1: 54. 88කින් නිම කළේය. එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාවේ නීල් රෝයී විනාඩි 1: 59.54කින් ද ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ දිලංක ෂෙහාන් විනාඩි 2: 00.58කින දිනා ගැනීමට සමත් විය.

මීටර් 200 ළය ආර පිරිමි ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ කුසල් පසුමාත්‍රී විනාඩි 2: 39.83කින්, රිදී පදක්කම හා ලෝකඩ පදක්කම පිළිවෙලින් කවිඳු කාරියවසම් (වි. 2:44.44) හා ප්‍රමේෂ් කුරේ (වි. 2: 45.18) දිනාගත්හ.

මීටර් 100 කාන්තා ළය ආර ඉසව්වේ රන් හා රිදී පදක්කම් ඉන්දියාවේ හර්ෂිතා ජයරාම් (විනාඩි 1: 16.29) හා රිද්දී සුරේන්ද්‍ර (වි. 1:16.94) දිනාගත් අතර ලෝකඩ පදක්කම බංග්ලාදේශයේ රොමානා අක්ටර් (වි. 1:19.70) දිනා ගත්තාය.

මීටර් 100 පිරිමි ළය ආර ඉසව්වේ රන් පදක්කම බංග්ලාදේශයේ අරිෆුල් ඉස්ලාම් විනාඩි 1:08. 21කින් දිනාගත් අතර ඉන්දියාවේ වරූන් පටෙල් විනාඩි 1: 09. 08කින් රිදී පදක්කම හා ශ්‍රී ලංකාවේ සී. ආර් යෝගරත්නම් වි. 1:09.41කින් ලෝකඩ පදක්කම දිනා ගත්හ.

මීටර් 50 කාන්තා ළය ආර ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ අරෝරා චාට් (තත් 35.29) , රිදී පදක්කම බංග්ලාදේශයේ මෆූසා කාටූන් (තත්. 36.30) ලෝකඩ පදක්කම මාලදිවයිනේ අයිසාට් සජීනා (තත්. 37.98) දිනා ගත්හ.

මීටර් 50 පිරිමි ළය ආර ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ බෝලූර් විශ්නාව් (තත් 29. 31) , රිදී පදක්කම ඉන්දියාවේ සිං ජසන්දීප්(තත්. 29. 60) ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කිරාන් ජයසිංහ (තත්. 30. 09) දිනා ගත්හ.

දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනයේ තරග අද සුගතදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. මේ 23වැනිදා දක්වා පැවැත්වෙන මේ ශූරතාවලියට සහභාගීවීමට අපේක්ෂාවෙන් සිටි ඇෆ්ගනිස්තානය අවසන් මොහොතේ තරගාවලියෙන් ඉවත්වූ අතර රටවල් 6කින් පිහිනුම් ඉසව් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 179ක් සහභාගී වෙති.

Comments

comments

SHARE