කොන්ත්‍රාත්තු අර්බුධය උග්‍ර වෙයි. ක්‍රීඩකයින් අත්සන් නොකරම සිම්බාබ්වේ යන්න සැරසෙයි

2479
0

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමය සහ තරග දීමනා පිළිබඳව සියලු විස්‌තර ඊයේ  ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ලැබීමට සලස්‌වා තිබේ. ඒ අනුව ඔවුන් කිසිවකු ඊයේ දිනයේ අදාළ කොන්ත්‍රාත්තුව පිළිබඳව විස්‌තර පත්‍රිකා ලබාගත්තද කොන්ත්‍රාත්තුවට අත්සන් කර නොතිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුවට අත්සන් නොකළද සිම්බාබ්වේ සංචාරය සඳහා යන කණ්‌ඩායම හෙට  දිනයේදී නම් කිරීමට නියමිතව තිබේ. ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා විදෙස්‌ ගතව සිට ඊයේ දිවයිනට පැමිණි අතර අනතුරුව ඔහු අද දිනයේදී කණ්‌ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ ක්‍රීඩකයන් අතර සාකච්ඡා කිරීමකින් අනතුරුව කණ්‌ඩායම නම් කිරීමට යෝජිත බව වැඩිදුරටත් සඳහන් වේ.

නව ක්‍රිකට්‌ කොන්ත්‍රාත් ක්‍රමයෙන් දක්‍ෂතා දක්‌වන ක්‍රීඩකයන්ට සහ තරග දිනන විට ප්‍රසාද දීමනා හෙවත් “බෝනස්‌” ක්‍රමයක්‌ ලබාදී තිබීම විශේෂත්වයකි. ඒ අනුව තරග ගාස්‌තුව මෙන් දෙගුණයක්‌ තරග ජයග්‍රහණයකදී හිමිවන අතර ටෙස්‌ට්‌, එක්‌දින හෝ විස්‌සයි විස්‌ස තරගවලදී කඩුලු පහක්‌ හෝ ශතකයක්‌ ලබා ගන්නා ක්‍රීඩකයකුට අතිරේක ඇමරිකානු ඩොලර් 5000 (ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ හතක්‌ පමණ) හිමිවේ. නමුත් එම මුදල කණ්‌ඩායමට සමසේ බෙදී යන ලෙස සකස්‌ කර ඇත.

කෙසේ වෙතත් වාර්ෂික කොන්ත්‍රාත්තුව සහ තරග දීමනා පසුගිය කොන්ත්‍රාත්තුවට වඩා අඩු කර තිබීම ක්‍රීඩකයන්ගේ නොසතුටට හේතුවී ඇති ප්‍රධාන හේතුවයි. ටෙස්‌ට්‌ ක්‍රීඩාවට මෙහිදී විශේෂ සැලකිල්ලක්‌ නොදක්‌වා ඇති අතර පසුගිය කොන්ත්‍රාත්තුවට වඩා වාර්ෂික කොන්ත්‍රාත්තුවෙන් 40% ක පමණ මුදලක්‌ පළමු කාණ්‌ඩයේ සිටින ක්‍රීඩකයන්ට අඩුවී තිබේ. ඒ අනූව සිම්බාබ්වේ සංචාරයට පමණක්‌ විශේෂ කොන්ත්‍රාත්තුවක්‌ යටතේ ක්‍රීඩකයන් තරග වැදීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

නව ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුව අනුව ඇන්ජලෝ මැතිව්ස්‌, රංගන හේරත් සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත් පළමු කාණ්‌ඩයට රුපියල් ලක්‍ෂ 125 ක්‌ පමණ පමණ වාර්ෂිකව හිමිවේ. දෙවැනි සහ තෙවැනි කාණ්‌ඩවලට පිළිවෙලින් මිලියන අටක්‌ සහ හයක්‌ බැගින් හිමිවේ. මේ අනුව ක්‍රීඩකයන් විස්‌සකට ආසන්න සංඛ්‍යාවක්‌ එම පළමු කාණ්‌ඩ තුන සඳහා ඇතුළත් අතර තවත් විසිදෙනකු සිව්වැනි සහ පස්‌වැනි කාණ්‌ඩවලට ඇතුළත් කොට තිබේ.

Comments

comments

SHARE