සුගතදාස ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ ඉක්මන් වෙයි

254
0

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය අලුතින් ඉදිකිරීම, ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය හා නවීන ආලෝක පද්ධතියක් සවි කිරීම ඇතුළු සියලු අංග ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට නිමාකරණ බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. වසර ගණනාවක් තිස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් නොමැති හෙයින් සුගතදාස පිටියේ ප්‍රශ්නය අද – හෙට විසදෙනු ඇතැයි බොහෝ දෙනා කාලයක් තිස්සේ අපේක්ෂාවෙන් පසු වූහ. මෙයට කලින් රුපියල් මිලියන ගණනක් වියදම් කොට ධාවන පථය හා ක්‍රීඩා පිටිය ඉදිකිරීම භාරව කටයුතු කළ දේශීය සමාගමට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කරන බවද ක්‍රීඩා ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පැවැසීය.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, ලේකම් ආචාර්ය ඩී. එම්. ආර්. බී. දිසානායක හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සුගතදාස ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් පරීක්ෂාකර බැලූ අතර වර්ෂා ජලය බැසයන නව ජලප්‍රවාහන පද්ධතියක් පිළිබඳවද සාකච්ඡා කළහ.

රගර් හා පාපන්දු ක්‍රීඩා සඳහා දෙසැම්බර් මස 31වැනි දිනට කලින් සුගතදාස පිටියේ සංවර්ධන කටයුතු නිමා කිරීම ඉලක්කයවී තිබේ. කෘත්‍රීම ධාවන පථය එළීමේ ටෙන්ඩරය දෙසැම්බර් මස 20 වැනි දින පිළිගත් සමාගමකට භාර දෙන අතර එම ඉදිකිරීම අතරතුර විදුලි ආලෝක පද්ධතියට අදාළ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම සැලසුමවී තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 150ක් පමණ වැය වෙතැයි අපේක්ෂා කෙරේ. ක්‍රීඩාංගණයේ අලෝක පද්ධතිය ක්‍රියාත්මක කෙරන කණු වසර 25ක් පමන පැරණි බැවින් ඒවා ඉවත් කිරීමටද නිර්දේශවී ඇත. සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම්වලට හා සුගතදාස හෝටලයේ ඉදිකිරීම්වලට රුපියල් මිලියන 660ක මුදලක් මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් වෙන්කරදී ඇති අතර අතිරේකව තවත් මුදලක් අවශ්‍යවනු ඇතැයි පැවැසේ.

සියලු ඉදිකිරීම් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ ඒකකයක අධීක්ෂණය යටතේ කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා උපදෙස් ලබාදී තිබීම විශේෂත්වයකි. එම යුද හමුදා අධීක්ෂණ ඒකකය විසින් පසුගිය කාලයේ කොළඹ තුරඟ තරග පිටිය නවීකරණය කිරීමේදීද ප්‍රමුඛ දායකත්වයක් ලබාදුන් ක්‍රීඩාංගණ ඉදිකිරීමේ විශේෂඥ පිරිසකි. මෙවැනි ඉදිකිරීම් පිළිබඳව අමෙරිකාවේ පුහුණුව ලබා ඇති කපිතාන් ප්‍රේමතිලක මහතා සමග එම යුද හමුදා විශේෂ ඒකකය සුගතදාස ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතුවලට මේ දිනවල දායකත්වය සපයමින් සිටිති.

“මාස හතරකට වැඩි කලක් ගතවුණා ප්‍රසම්පාදන හා තාක්ෂණ කමිටු වාර්තා ගන්න. ඉතා පරිස්සමෙන් ටෙන්ඩර් කිරීමේ කටයුතු කරන්න නිලධාරීන්ට සිදු වුණා. මෙයට කලින් විශාල වරදක් මෙහි සිදුවී තිබුණා. දෙසැම්බර් 20වන විට ටෙන්ඩර්කරුට ව්‍යාපෘතිය භාර දෙනවා. ඉදිකිරීම් නිම කිරීමට මාස දෙකක කාලයක් ඔහුට හිමි වෙනවා. සුගතදාස හොටලයේ අඩුපාඩු සියල්ල දැන් නිමා වෙමින් පවතිනවා. පරිපාලන ගොඩනැගිල්ල අලුතින් ඉදි වෙනවා. මේ සියලු දේ වෙන්නේ වසර 15කට පසුවයි” දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

සුගතදාස ධාවන පථයට රුපියල් මිලියන 113ක් හා ක්‍රීඩා පිටිය ඉදිකිරීමට රුපියල් මිලියන 32ක් වසර 2013දී වැය කළ අතර එම වසරේ ජූනි මාසයේ 15වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය නව ධාවන පථයේ පැවැත්වුණි. එහෙත් ඉන් මාස කිහිපයකට පසුව හදිසි නඩත්තුවක් වෙනුවෙන් ක්‍රීඩාංගණය තාවකාලිකව වසා දැමීමට සිදු විය.

ඒ සමග ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමට සිවු පුද්ගල කමිටුවක් ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ අතර සති තුනක කාලයකින් වාර්තාවක් ද ලබා ගත්තේය.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස එවක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා පත්කළ අතර ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ඩර්වින් පෙරේරා, මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිනි සුසන්තිකා ජයසිංහ හා ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සජිත් ජයලාල් යන මහත්ම මහත්මිහු කමිටු සාමාජාකයන් ලෙස ක්‍රියා කළහ.

මේ වාතාවරණය මත ධාවන පථයේ තැනින් තැන ගැලවී ගොස් ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවූ අතර පුහුණු ධාවන පථයද අබලන් විය. සුගතදාස ධාවන පථය හා ක්‍රීඩා පිටිය ඉදිකළ ගහකොළ නැමැති දේශීය සමාගමට තවත් ගෙවීමට තිබූ රුපියල් මිලියන 30ක් ක්‍රීඩා අමාත්‍යාංශය මුදා හැරීමද නතර කොට තිබේ.

Comments

comments

SHARE