ආසියානු පෙරලිකාරයින්ට ජාත්‍යන්තරය ජය ගන්නට අවස්තාවක්

216
0

ලබන වසරේ ‘හොංකොං සෙවන්ස්’ ලෝක ශූරතා තරගාවලියට සමගාමීව පැවැත්වෙන වසර 2018 ලෝක කුසලාන සත් සාමාජික රගර් තරගමාලාවට සුදුසුකම් ලැබීමේ ආසියාතික රට තෝරා ගන්නා තීරණාත්මක තරගාවලියට එක්වීමට පළමු වරට ශ්‍රී ලංකාව සමත්වෙයි. ආසියානු සත් සාමාජික රගර් සමස්ත තරගමාලාවේ පළමු හා දෙවැනි ස්ථාන අත්කර ගන්නා කණ්ඩායම්වලට වසර 2018 ලෝක කුසලාන තරගමාලාවට සුදුසුකම් ලැබීමේ හොංකොං තරගාවලියට එක්වීමේ අවස්ථාව හිමිවන අතර ශ්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායම මේ සඳහා සුදුසුකම් ලැබුවේ පසුගියදා ශ්‍රී ලංකාවේදී නිමාවට පත්වූ ආසියානු සත් සාමාජික රගර් තරගාවලියේ තුන්වැනි හා අවසන් අදියරෙන් පසුව සමස්ත තරගමාලාවේ දෙවැනි ස්ථානය අත්කරගැනීම හේතුවෙනි.

මෙවර ආසියානු සත් සාමාජික තරගමාලාවේ හොංකොං හී පැවැති පළමු අදියරේ දී මෙන්ම දකුණු කොරියාවේ පැවැති දෙවැනි අදියරේදිත් දෙවැනි ස්ථානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ තරගාවලියේදී සිවුවැනි ස්ථානයට පත්වූව ද සමස්ත ලකුණු 27ක් ලබා ගනිමින් ඒ සඳහා දොරටු විවර කරගත්තේය.

ඒ අනුව මෙවර තරගමාලාවේ සමස්ත ලකුණු 36ක් ලබා පෙරමුණ ගත් හොංකොං පිල සමග ශ්‍රී ලංකාව ද ලබන වසරේ අප්‍රේල් මස 7 වැනිදා සිට 9 දක්වා හොංකොං හී පැවැත්වෙන හොංකොං සෙවන්ස් ලෝක ශූරතා තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගාවලියට එක්වන්නේ 2018 ලෝක කුසලාන සත් සාමාජික රගර් තරග වරම් දිනාගැනීමේ බලාපොරොත්තු පොදි බැඳගෙනය.

කණ්ඩායම් 12ක් තරග වදින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට දැනටමත් ශ්‍රී ලංකාව සමග හොංකොං කණ්ඩායම් ආසියාවෙන් ද, ස්පාඤ්ඤය සහ ජර්මනිය යුරෝපයෙන් ද, නැමීබියාව සහ උගන්ඩාව අප්‍රිකාවෙන් ද තරග කිරීමට නියමිත අතර ඉතිරි කණ්ඩායම් ඉදිරියේදී පැවැත්වෙන ඕෂනියා සෙවන්ස්, ආජෙන්ටිනා සෙවන්ස් සහ කොදෙව් දූපත් සෙවන්ස් තරගාවලි අතරින් තෝරා ගැනේ.

ලෝක රගර් සම්මේලනය මගින් 7 වැනි වරටත් සංවිධාන කරනු ලබන ලෝක කුසලාන සත් සාමාජික රගර් තරගමාලාව වසර 2018 දී අමෙරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වෙන අතර ඊට සත් සාමාජික ලෝක ශූරතා තරගමාලාවේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් 4 සමග සුදුසුකම් ලැබීමේ තරගමාලා අතරින් තෝරාගන්නා කණ්ඩායම් එක්වෙති. හොංකොං සෙවන්ස් තරගාවලියේ පළමු කාණ්ඩයෙන් තරග වදින ජපානයට අමතරව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයන්ට ආසියාව නියෝජනය කරමින් සෑන් ෆ්‍රැන්සිස්කෝ බලා යාමට අවස්ථාව උදාවෙයි.

Comments

comments

SHARE