ශ්‍රී ලංකා ඒ ඉදිරියෙන්

825
0

ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමාවන විට කඩුලු 5 ක් දැවී ලකුණු 211 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමත්විය.

රොෂේන් සිල්වා නොදැවී ලකුණු 29 ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 7 ක් ලබාගනිමින් කඩුල්ලේ රැදී සිටිති.

ලකුණු 75 ක වාසියක් තබාගෙන දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනය නිමාවනවිට ලකුණු 286 ක් ඉදිරියෙන් සිටීමට සමත්විය.

අසේල ගුණරත්න අර්ධ ශතකයක් (69) රැස්කරගත් අතර කියොන් ජෝෂප්ගේ පන්දුවකට කඩුලු රකින ජමාර් හැමිල්ටන් අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිඳැල් පිතිකරුවන් හට හිසරදයක්වී සිටින රකීම් කෝන්වෙල් ලකුණු 62 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දක්වන්නේය.

ලකුණු පිපාසයෙන් පෙළෙන ළහිරු තිරිමාන්නට දෙවන ඉනිමේදි රැස්කිරීමට හැකිවූයේ ලකුණු 27 ක් පමණී. මෙම තරගාවලියේ තරග තුනකට ක්‍රීඩා කළ තිරිමාන්නට ඉනිම හයකදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 59 ක් පමණී.

පන්දුවට හොදින් පහරදෙමින් සිටි සඳුන් වීරක්කොඩි ලකුණු 48 ක් ලබාසිටියදී රකීම් කෝන්වෙල්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

ඊයේ දිනයේදී තරගය නිමාවන විට කඩුලු 4 ක් දැවී ලකුණු 183 ක් රැස්කර ගෙන සිටි බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට සියුලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 243 ක් පමණී. අවසන් කඩුලු 6 ලකුණු 60 ක් තුළදී දවාගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පන්දු යවන්නෝ සමත්වූහ.

සමාරා බෲක්ස් ලකුණු 54 ක් ලබාසිටියදී කසුන් මදුශංකගේ පන්දුවකට දසුන් ශානක අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියේය.

කසුන් මදුශංක ලකුණු 45 කට කඩුලු 3 ක් සහ ලක්ෂාන් සඳකැන් ලකුණු 54 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

Comments

comments

SHARE