ශ්‍රී ලංකා ඒ සිව්දින තරගාවලිය ජය ගනී

885
0

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ලකුණු 138 කින් ජයගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තරගාවලියද 2-1 ක් ලෙස ජයගැනීමට අද (21 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 333 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 194 ක් පමණී.

තරගය ජයගනිමින් තරගාවලියද ජයගැනීම සදහා පිටියට පිවිසි ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 63 ක් එක්කළ අතර ලක්ෂාන් සඳකැන් ලකුණු 44 ක් ලබාසිටි කිරාන් පවෙල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමින් එම සම්බන්ධතාවයට තිත තැබීමට සමත්විය.

මුළු ලකුණු සංඛ්‍යාව 88 ක් වනවිටදී ශිම්රන් හෙට්මියර්ගේ (18) කඩුල්ල චරිත් අසලංකත්, ලකුණු 108 ක් වනවිටදී රාජේන්ද්‍ර චන්ද්‍රිකගේ (30) කඩුල්ල ලක්ෂාන් සඳකැන් විසිනුත් දවාගන්නා ලදී.

තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ විෂෝල් සිංට මෙම තරගයේදී ලකුණු අතරට පැමිණීමට නොහැකිවූ අතර දෙවන ඉනිමේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 6 ක් පමණී.

මුළු ලකුණු සංඛ්‍යාව 124 ක් වනවිටදී කඩුලු හතරක් බිඳවැටීම හේතුවෙන් අසීරු තත්වයන සිටි බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම යළි ගොඩනැගීම සදහා නායක ශමාර් බෲක්ස් (46) උත්සහ ගත්තද ඔහුගේ දැවීයාමෙන් අනතුරුව ඉනිම කඩාවැටීම යළි ඇරඹුණී.

දඟ පන්දුයවන ජෙෆ්රී වැන්ඩර්සේ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමේ බලාපොරොත්තු සුනුවිසුණු කරමින් කඩුලු එකින් එක දවාගනිමින් ලකුණු 47 කට කඩුලු හයක් දවාගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලබාදීමට සමත්විය.

ඊයේ තරගය නතර කරනවිට කඩුලු 5 ක් දැවී ලකුණු 211 ක් රැස්කර සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම උදෑසන කඩුලු හයක් දැවී ලකුණු 257 ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සදහා බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමට ආරාධනා කළේය.

රොෂේන් සිල්වා ලකුණු 44 ක් ලබා සිටියදී කියොන් ජෝෂප්ගේ පන්දුවකට රාජේන්ද්‍ර චන්ද්‍රික අතට උඩපන්දුවක් ලබාදෙමින්  පළමු කඩුල්ල ලෙස දැවීගිය අතර දසුන් ශානක නොදැවී ලකුණු 33 ක් රැස්කිරීමට සමත්විය.

තරගාවලිය පුරා ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පිතිකරුවන් හට තර්ජනයක්වූ රකීම් කෝන්වෝල් ලකුණු 180 කට කඩුලු 7 ක් බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

Comments

comments

SHARE