දකුණු ආසියානු ජල ක්‍රීඩා අනු ශූරතාව ශ්‍රී ලංකාවට

127
0

කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැති දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේ සමස්ත අනු ශූරතාව දිනාගැනීමට රන් පදක්කම් 28 ක් දිනාගත් ශ්‍රී ලංකාව සමත් විය. රිදී පදක්කම් 66 ක් සහ ලෝකඩ පදක්කම් 95 ක්ද සමගින් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනාගත් පදකම් සංඛ්‍යාව 189 කි.

රන් පදක්කම් 121 ක්, රිදී පදක්කම් 77 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනාගත් ඉන්දියාව තරගාවලියේ ශූරතාව දිනාගත් අතර රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගත් බංග්ලාදේශය එහි තෙවැනි ස්ථානයට පත්විය.

තරගාවලියේ සිව්වැනි දිනය වූ සෙනසුරාදා (22 වැනිදා) තවත් රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 22 ක් සිය පදක්කම් ගොන්නට එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අවසන් දිනයේදී බාලිකා – වයස 18 න් පහළ මීටර් 50 නිදහස් ආර, බාලිකා – වයස 18 න් පහළ මීටර් 100 පසුපස ආර සහ බාලිකා – වයස 18 න් පහළ මීටර් 800 නිදහස් ආර සහය ඉසව්වලදී රන් පදක්කම් දිනාගැනීමට කිමිකෝ රහීම් සමත් වූවාය.

එම රන් පදක්කම් 3 ත් සමගින් සිය රන් පදක්කම් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ දමාගැනීමට ඇයට හැකි වූ අතර ඉන් රන් පදක්කම් 5 ක් කේවල ඉසව්වලින්ද, 3 ක් සහාය ඉසව් ඉසව්වලින්ද හිමිවිය.

බාලක – වයස 18 න් පහළ මීටර් 50 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනාගනිමින් සිය පදක්කම් සංඛ්‍යාව 7 ක් දක්වා වර්ධනය කරගැනීමට කයිල් අබේසිංහ සමත් වෙද්දී, ඔහුගේ සොහොයුරු මැතිව් අබේසිංහ සිය පදක්කම් සංඛ්‍යාව 6 ක් දක්වා වර්ධනය කරගත්තේ බාලක – වයස 18 න් ඉහළ මීටර් 50 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනාගනිමිනි.

කයිල් කේවල ඉසව් 4 කදී සහ සහාය ඉසව් 3 කදී එම රන් පදක්කම් 7 දිනාගත් අතර මැතිව් කේවල ඉසව් 5 කදී සහ එක් සහාය ඉසව්වකදී රන් පදක්කම් 6 දිනාගත්තේය.

එම දක්ෂතා නිසා තරගාවලියේ වයස 18 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිමිකෝ රහීම්ද, වයස 18 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කයිල් අබේසිංහද, වයස 18 න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මැතිව් අබේසිංහද සම්මාන දිනාගත්හ.

බාලක – වයස 15 න් පහළ මීටර් 100 පසුපස ආර ඉසව්වට සහභාගි වූ ශේවින්ද ද සිල්වාද අවසන් දිනයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනාගැනීමට සමත් විය.

පිනුම් ඉසව්වෙන් අවසන් දිනයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක් හිමිවූ අතර බාලිකා – ‘සී’ කාණ්ඩයේ පා පුවරුව ඉසව්වට සහභාගි වූ සෙනුරි වෙත්තසිංහ සහ කාන්තා – විවෘත ඉසව්වට සහභාගි වූ නෙත්මි ලියනගේ එම රන් පදක්කම් 2 ට හිමිකම් කීහ.

Comments

comments

SHARE