එංගලන්තය තරගයේ පාලනය අතට ගනී

689
0

එංගලන්තය සහ බංග්ලාදේශය අතර චිතගෝංහි අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (22 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 228 ක් ලබා සිටියේය.
ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයෝ තවත් කඩුලු 2 ක් අතැතිව බංග්ලාදේශයට වඩා ලකුණු 273 ක් ඉදිරියෙන් සිටිති. තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ක්‍රිස් වෝක්ස් ලකුණු 11 ක් සහ ස්ටුවට් බ්‍රෝඞ් ලකුණු 10 ක් බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
එංගලන්ත දෙවැනි ඉනිමේ සාර්ථකම පිතිකරුවා බවට පත් වූ බෙන් ස්ටොක්ස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 85 ක් රැස්කළේය. ජොනී බෙයාස්ට්‍රෝ (47) සමග එක්ව එංගලන්ත කණ්ඩායමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 127 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්ටොක්ස් සමත් විය.
හතරේ පහර 6 ක් සමගින් ලකුණු 47 ක් රැස්කර සිටියදී කම්රුල් ඉස්ලාම්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ජොනී බෙයාස්ට්‍රෝ අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.
දක්ෂ පන්දුයැවීමක නිරත වූ සකීබ් අල් හසන් ලකුණු 79 කට කඩුලු 5 ක් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් විය.
අද දිනය ආරම්භ කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 248 කට සීමා කිරීමට එංගලන්ත පන්දුයවන්නෝ සමත් වූහ.
එහිදී බෙන් ස්ටොක්ස් ලකුණු 26 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වූ අතර ඔහුට අනගි සහයක් දුන් මුයින් අලී ලකුණු 75 කට කඩුලු 3 ක් දවාගත්තේය.

එංගලන්තය පළමු ඉනිම – සියලු දෙනා දැවී 293
(ජෝ රූට් 40, මුයින් අලී 68, ජොනී බෙයාස්ට්‍රෝ 52, ක්‍රිස් වෝක්ස් 36, ආදිල් රෂීඞ් 26, මෙහෙදි හසන් 80/6, සකීබ් අල් හසන් 46/2, තයිජුල් ඉස්ලාම් 47/2)

බංග්ලාදේශය පළමු ඉනිම – සියලු දෙනා දැවී 248
(ටමීම් ඉක්බාල් 78, ඉම්රුල් කේයස් 21, මහමදුල්ලා 38, මුෂ්ෆිකුර් රහීම් 48, සකීබ් අල් හසන් 31, සබීර් රෙහෙමාන් 19, බෙන් ස්ටොක්ස් 26/4, මුයින් අලී 75/3, ආදිල් රෂීඞ් 58/2)

එංගලන්තය දෙවැනි ඉනිම – කඩුලු 8 ක් දැවී 228
(බෙන් ස්ටොක්ස් 85, ජොනී බෙයාස්ට්‍රෝ 47, සකීබ් අල් හසන් 79/5)

Comments

comments

SHARE