ක්‍රිකට්‌ ක්‍රීඩකයන් 16 කට කෝටි හැට නවයකට වඩා ලැබුණේ මෙහෙමයි… ආසියාවේ අවම ක්‍රිකට්‌ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවලු

10067
0

සුද්දන්ගේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට ඇලුම් කරමින් එහි හිණි පෙත්තටම ගිය ශ්‍රී ලංකාව සුද්දන්ටද පහර දී මෙරට ක්‍රිකට්‌ ජවය ලොවට පෙන්වූ වාර කොතෙකුත් තිබේ. ඒ අතර 1996 ක්‍රිකට්‌ ලෝක ශූරතාව සහ 2014 විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ ලෝක ශූරතාව මෙරට ක්‍රිකට්‌ වංශ කතාවේ වටිනාම ජයග්‍රහණ වේ. ලොවටම පහර දෙන්නට ශ්‍රී ලංකාව සතු එකම ක්‍රීඩාව ක්‍රිකට්‌ ක්‍රීඩාවයි. එබැවින් ක්‍රිකට්‌ වටා මෙරට හතර දිග් භාගයේ සිටින ජනතාව දැඩි ඇල්මකින් එක්‌ රොක්‌ වී හුරේ දමති. රට වෙනුවෙන් හුරේ දමන ප්‍රේක්‍ෂකයෝ අතේ තිබෙන තුට්‌ටු දෙකත් වියදම් කරමින් ක්‍රිකට්‌ රසය සහ රටේ ජය වෙනුවෙන් ශ්‍රමය සහ ධනය වැය කරද්දී ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ රට ජය වෙනුවෙන් දෙන ජවයට දහසින් බැඳි පියළි දිය යුතුය. එහෙත් ඔවුන් “මදි” න්‍යායේ සිටිමින් රටට සපයන සේවාව “ඩිමාන්ඩ්” කරන්නේ නම් එයද ප්‍රශ්නයකි. ඔවුන්ගේ දක්‍ෂතාවට සරිලන වැටුපක්‌ නොගෙවන්නේ නම් එයත් ප්‍රශ්නයකි. පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ සහ ක්‍රිකට්‌ ආයතනය දෙපසට වී කඹ අඳින ලද්දේ ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුවේ මුදල් ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමටය. අවසානයේ ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුවේ ගැටය ලිහා දැමීමට ක්‍රීඩකයන් සහ පාලකයන් පොදු එකඟතාවකට පැමිණීමට සමත් වූහ.

ක්‍රිකට්‌ යනු ශ්‍රී ලංකාවේ ධනවත්ම ක්‍රීඩාවයි. එබැවින් පසුගිය 2015.03.01 වැනිදා සිට මෙම වසරේ 2016.04.30 දක්‌වා වූ මාස 14 ක කාලයකට ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන් 16 දෙනකුට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ගෙවා ඇති මුදල රුපියල් 694,854,601 කි. ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ වැටුප් බලන විට එය එතරම් ගණනක්‌ නොවන්නට පුළුවනි. එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය අනුව නම් එය පරම්පරා ගණනකට වුවද සෑහෙන මුදලක්‌ යෑයි යමෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් ලොව අඩුම වාර්ෂික ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුව හිමිවන රටවල් දෙක තුන අතරට පත්ව ඇත්තේද ශ්‍රී ලංකාව බවට වාර්තා වේ. ආසියාවේ අවම ක්‍රිකට්‌ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවද මෙය බවට වාර්තා වේ.

ප්‍රශ්නය ඇත්තේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තුවේ වටිනාකම ලඝූ කරනු ලබන න්‍යාය අනූවය. එහෙත් සංගක්‌කාරලා සහ මහේලලා ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සිටින විට කොන්ත්‍රාත් අඩු කිරීමට ක්‍රිකට්‌ ආයතන “ලොක්‌කන්ට” දෙවරක්‌ සිතන්නට වුණි. ඒ ඔවුන් සිටින වකවානුවේදී කණ්‌ඩායම ජයග්‍රාහී රිද්මයට පැමිණ තිබූ නිසාවෙනි. 2014 විස්‌සයි විස්‌ස ලෝක කුසලානට ශ්‍රී ලංකා පිල පිටත්ව ගියේ පැය කිහිපයකින් ගත් සාමුහික තීරණයක්‌ අනුවය. එදා ඔවුන් ලෝක කුසලාන දිනා ගෙන පැමිණෙන විට වාර්ෂික කොන්ත්‍රාත්තුවක්‌ අත්සන් කර නොතිබුණි. නමුත් රට වෙනුවෙන් ඔවුන් ලෝක ශූරයෝ වී “අපි වැඩකාරයන්” යෑයි ලොවට පෙන්වූහ. එබැවින් ක්‍රිකට්‌ “ලොක්‌කෝ” එදා අඩියක්‌ පසුපසට ගෙන කොන්ත්‍රාත් අඩු කිරීමේ න්‍යාය ඉවත් කර ගත්හ. එම වකවානුවේ ශ්‍රී ලංකාව විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ අංක එකය. ටෙස්‌ට්‌ සහ එක්‌දින ශ්‍රේණිවල පළමු කණ්‌ඩායම් හතර අතර නිරන්තරයෙන්ම ශ්‍රේණිගතව සිටියේය. මෙවරද ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ඇත්තේ අපි “වැඩකරයෝ” යන්න පෙන්වමින් අඩුවූ දීමනා වැඩි කර ගැනීමයි.

නමුත් වත්මන් ක්‍රිකට්‌ තත්ත්වය සංගක්‌කාරලා ක්‍රීඩා කරන යුගයට වඩා හාත්පසින්ම වෙනස්‌ වී තිබේ. ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පළමු පස්‌දෙනාගෙන් පහළට තල්ලුවී එම දෙඅංශයේම හය වැනි තැන පසුවේ. විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ අට වැනි තැන දක්‌වා පල්ලම් බැස තිබේ. නවකයන් රොත්තක්‌ දක්‍ෂතා දක්‌වමින් ජාත්‍යන්තරයට පදම්වීමට උත්සහ දරන යුගයේදී කොන්ත්‍රාත් වැඩි කිරීමට ඉල්ලීම එක්‌ අතකින් දැලි පිහියෙන් කිරි කන්නාක්‌ මෙන් වැඩකි. යම් හෙයකින් ඔවුන් කොන්ත්‍රාත්තුව අත්සන් නොකළේනම් වෙනත් කණ්‌ඩායමක්‌ සිම්බාබ්වේ සංචාරයට යෑවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරීන් කටයුතු සූදානම් කර තිබුණි. මෙවර කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨයෝ සිටින්නේ දෙතුන් දෙනෙකි. ඒ අනුව මේ වකවානුවේ කොන්ත්‍රාත්තුව අඩු කිරීමට ක්‍රිකට්‌ බලධාරීන්ට ගැටලුවක්‌ නොමැත. ඒ අනුව ඉදිරි වසර සඳහා ඔවුන් අත දිග හැර ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තුවේ බර අඩු කර දැමුවේය. තරග ගාස්‌තුද 20% කින් පමණ කප්පාදු කර දැමුවේය. වාර්ෂික කොන්ත්‍රාත්තුවෙන් 40% ක්‌ පමණ කප්පාදු කර දැමුවේය. නමුත් ජයග්‍රහණයේදී “ඩබල්” බෝනස්‌ ක්‍රමයක්‌ හඳුන්වා දීම සහ දක්‍ෂතා අනුව ප්‍රසාද දීමනා ලබාදීම මගින් කොන්ත්‍රාත්තුවේ ඇති සමබරතාව අපූරුවට ක්‍රිකට්‌ ආයතනය සකස්‌ කිරීමට සමත්ව විය. එහිදී කඩුලු පහක්‌ හෝ ශතකයක්‌ ලබා ගන්නා ක්‍රීඩකයා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 5000 ක්‌ (රුපියල් ලක්‍ෂ 750,000 ක්‌ පමණ) හිමිවේ.

ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ මේ අඩු කිරීම් ගැන කොහෙත්ම කැමැත්තක්‌ දක්‌වන්නේ නැත. “අපිට තිබුණ ගානම දුන්නනම් කමක්‌ නැහැ. අපි සල්ලි වැඩි කරන්න කියල කිව්වෙ නැහැ. මොනම ආයතනයකවත් ගණන් වැඩි කරනවා මිසක අඩු කරන්නේ නැහැ.” යන මතයේ ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ සිටිති.

ක්‍රිකට්‌ ආයතනයද සාධාරණ වාග් ප්‍රහාරයක්‌ මාධ්‍ය හමුවේ මුදා හැරියේය. එහිදී ක්‍රිකට්‌ නිලධාරීන්ගේ පොදු මතය ඔවුන්  මුදාහැරියේ මෙසේය. “අපි දිනන කොට ගාන ඩබල් කරල තියෙනවා. කඩුලු පහකට වගේම ශතකයට ඩොලර් 5000 ක්‌ ලබා දෙනවා. පහුගිය කාලයේ සමහර ක්‍රීඩකයෝ තරග කිහිපයක්‌ ක්‍රීඩා කරමින් කෝටි ගණන් අරන් තියෙනවා. ඔවුන් ක්‍රීඩා කරනවට වැඩිය ආබාධිත වෙලා තමයි ඉඳල තියෙන්නෙ. කොන්ත්‍රාත්තුවට ඇතුළත් කළාම ගැහුව්වත් සල්ලි නොගැහුව්වත් සල්ලි. දිනුවත් සල්ලි පැරදුනත් සල්ලි. අපේ මේ නව කොන්ත්‍රාත් ක්‍රමයෙන් රටේ ක්‍රිකට්‌ වලට සාධාරණයක්‌ ඇති වෙනවා.” යනුවෙනි.

ක්‍රිකට්‌ ආයතනය එසේ පවසද්දී තවත් පැත්තකින් ඇසෙන්නේ ක්‍රිකට්‌ ආයතනයේ නාස්‌ති ගැනය. ශ්‍රී ලංකා කණ්‌ඩායම පසුගියදා එංගලන්තයට ගිය විට එහි රැගෙන ගිය පිරිස ගැන විවිධ වාර්තා පළ විය. තරග බලන්නට පවුල් පිටින් ගියා යෑයි තවත් සමහරු චෝදනා කළහ. එහිද සත්‍ය සහ අසත්‍යතාව ගැබ්ව තිබේ. නමුත් මෙවර හෙණ්‌ඩුව ඇත්තේ ක්‍රිකට්‌ ආයතනයේ බැවින් ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ පදයට නටන්න සිදුවිය.

කෙසේ වෙතත් අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ක්‍රීඩකයන්ට ලබාදී තිබූ වාර්ෂික කොන්ත්‍රාත්තුවේ පළමු කාණ්‌ඩයට ඇතුළත් ක්‍රීඩකයකු ඇමරිකා ඩොලර් 165,000 ක්‌ද දෙවැනි කාණ්‌ඩයට ඇතුළත් ක්‍රීඩකයකුට ඇ.ඩො. 100,000 ක්‌ද තෙවැනි කාණ්‌ඩයට ඇ.ඩො. 70,000 ක්‌ සහ සිව්වැනි කාණ්‌ඩයට ඇ.ඩො. 40,000 ක්‌ බැගින් ලබා දී තිබේ. එහෙත් මෙවර සකස්‌ කරන ලද නව වාර්ෂික ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුවේදී පළමු කාණ්‌ඩයට ඇතුළත් ක්‍රීඩකයකු ඇ.ඩො. 125,000 ක්‌ද දෙවැනි කාණ්‌ඩයේ ක්‍රීඩකයන්ට ඇ.ඩො. 80,000 ක්‌ සහ තෙවැනි කාණ්‌ඩයට ඇ.ඩො. 60,000 බැගින් හිමිව තිබේ. එය පසුගිය කොන්ත්‍රාත්තුවට වඩා අඩුවීමකි.

ඉහත සඳහන් කළ වාර්ෂික කොන්ත්‍රාත්තුවට අමතරව ටෙස්‌ට්‌ තරගයක්‌ සඳහා ගෙවූ ඇ.ඩො. 7500 නව කොන්ත්‍රාත්තුව යටතේ ඇ.ඩො. 5000 දක්‌වා අඩුකර තිබේ. එහිදී ඔවුන් ජය ගතහොත් පමණක්‌ ඇ.ඩො. 7500 ක්‌ ගෙවන බවට අදාළ කොන්ත්‍රාත්තුව සකස්‌ වී තිබේ.

අදාළ මුදල් අනුව ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට වාර්ෂික කෝටි ගණනක්‌ ලැබෙන අතර එය අනෙකුත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කණ්‌ඩායම්වල ගෙවන මුදලට සාපේක්‍ෂව පහළ අගයකි. නමුත් ශ්‍රී ලංකාවේ ජාතික කණ්‌ඩායමෙන් පහළ ක්‍රීඩකයන් නඩත්තු කිරීම සහ ඔවුන්ට ගෙවන මුදල “සොච්චමක්‌” වීම තුළින් ක්‍රීඩා සමාජ සහ පළාත් තරගාවලිවල තරගකාරීත්වය ක්‍ෂය වෙමින් පවතී. එබැවින් මෙවර නව ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුව යටතේ ක්‍රීඩකයන් 100 කට කොන්ත්‍රාත්තුවක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ලබාදී තිබේ. එහිදී ඇතැම් ක්‍රීඩකයන්ට මාස හයක කොන්ත්‍රාත්තුවක්‌ සහ තවත් තෝරාගත් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත්තුවකට වශයෙන් ඇතුළත් කර තිබේ. කොන්ත්‍රාත්තුවේ පළමු 40 දෙනා වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව ඇති බව වැඩි දුරටත් සඳහන් වේ.

අයි.පී.එල්., බී.පී.එල්. හෝ එංගලන්ත ප්‍රාන්ත තරගාවලි ක්‍රීඩා කිරීමටද ක්‍රිකට්‌ ආයතනය විසින් ක්‍රීඩකයන්ට නිදහස ලබාදී ඇති අතර එසේ ක්‍රීඩකයන්ව නිදහස්‌ කරනු ලබන්නේ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ තරග නොමැති අවස්‌ථාවකය. ඒ අනුව ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ලැබෙන මුදල ගණනය කළ හැකි ලෙහෙසිම වචනය වනුයේ “කෝටි මෙච්චරයි” යනුවෙනි.

පසුගිය කාලයේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නිතර පැවුසුවේ “අපි ක්‍රිකට්‌ ගහන්නේ අවුරුදු 35-36 ක්‌ වෙනකම් විතරයි. ඊට පස්‌සෙ අපිට ජීවත් වන්න ක්‍රමයක්‌ නැහැ. යනුවෙනි. එයද සාධාරණය. නමුත් අපේ රටේ ජීවත් වන්නට මේ ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන්නේ නම් මෙය ශ්‍රී ලංකාවද නොවන බව අපගේ හැඟීමයි.

ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර වටිනාකමක්‌ හිමිවන්නේ මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව උසස්‌ මට්‌ටමේ තිබුණහොත් පමණි. ඒ අනුව පහළ ක්‍රිකට්‌ පැලැන්තියට සලකමින් ඔවුන්ව ජාත්‍යන්තර තලයට ගෙන ඒමට වැඩ සටනක්‌ අවශ්‍යය. ඒ සඳහා මුදල් අවශ්‍යව තිබේ. ක්‍රිකට්‌ ආයතනයද දුවන්නේ බංකොලොත් න්‍යායෙනි. ඒ අනුව ක්‍රිකට්‌ හදන වැඩ පිළිවෙලට කප්පාදුව එක්‌ පැත්තකින් අවශ්‍යව තිබේ. අනෙක්‌ පැත්තෙන් රටට සල්ලි ගෙනෙන ක්‍රිකට්‌ ක්‍රීකයන්ගේ කප්පාදුව කරන ගමන් ක්‍රිකට්‌ ආයතනයේ “පිනා” න්‍යායයෙන් පඩි නඩි ගන්නා පිරිස්‌ අතුගා එළියට විසි කළ යුතුය. 1996 ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනා ගන්නා විට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සිටි සේවක පිරිස තිස්‌ ගණනකි. ඉන් දශක දෙකක්‌ ගෙවී ඇති මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සේවක ගණන 250 ත් ඉක්‌මවා තිබේ. ඒ අනූව ඔවුන්ව නඩත්තු කිරීමත් අලි හම්බන් කරන්නාක්‌ මෙන් ලොකු කර්තව්‍යයකි. ඒ කප්පාදුවද මේ අතර සිදුවුවහොත් ක්‍රීඩකයන්ගේ කප්පාදුව පිළිබඳව ප්‍රේක්‍ෂකයන් සාධාරණ නිගමනයකට එනු ඇත. නමුත් ක්‍රීඩකයන් එක දිගට දිනන්නේ නම් ඔවුන්ට තවත් ඩොලර් වැඩි කිරීමද ඉදිරි න්‍යාය පත්‍රයකට ඇතුළත් විය යුතු යෑයි අපි බළධාරීන්ට මතක්‌ කර සිටිමු. පරදින්නේ නම් තවත් අඩු කර යළිත් පාසලේ සිට පටන් ගන්නයෑයිද අපි යෝජනා කරමු.

ශ්‍රී ලංකාවේ ප්‍රිමියර් හෙවත් පළමු පෙළ ක්‍රීඩා සමාජ 24 ක්‌ තිබේ. ඒ සඳහාද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මුදල් ලබාදිය යුතුය. ශ්‍රී ලංකාව වැනි රටක පළමු පෙළ ක්‍රීඩා සමාජ 24 ක්‌ තිබීම එක්‌තරා හාස්‍යට කරුණකි. අදාළ ක්‍රමයෙන් සුපිරිම ක්‍රීඩකයන් තෝරා බේරා ගැනීමට තවත් තරගාවලියක්‌ අනිවාර්යයෙන් අවශ්‍යව තිබේ. නමුත් ඒ ක්‍රමය වෙනස්‌ කිරීමට නොහැකිව තිබෙන්නේ ක්‍රිකට්‌ නිලවරණය සඳහා වන ඡන්ද ප්‍රතිශතයට ගැටලුවක්‌ වන බැවිනි. එබැවින් ක්‍රිකට්‌ මුල සිට අගටම පුනරුත්ථාපනය වීම සියලුම ප්‍රශ්නවලට ගැලපෙන තිරසාර විසඳුමක්‌ වනු ඇත. නමුත් එය එසේ නොවන්නේ බලය නැමැති චක්‍රයේ මනාපය සඳහා බලධාරීන්ගේ ඇති පිපාසය නිසා විය හැකිය.

මෙරට පළමු පෙළ ක්‍රීඩා සමාජ ගණන වැඩි බව සැවොම දනිති. මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා, චමින්ද වාස්‌, අර්ජුන රණතුංග හෂාන් තිලකරත්න, තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය වැනි ශ්‍රී ලංකාවේ බිහිවූ සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩකයෝද මෙරට ක්‍රීඩා සමාජ තරගාවලිය ගැන කණස්‌සල්ලෙන් පසුවන බව පවසා තිබේ. ඒ අනුව ක්‍රිකට්‌ ක්‍රීඩකයන් වැටුප් විෂමතා ප්‍රශ්නයේදී මේ සියලු දැ කරළියට පැමිණීමද වලක්‌වා ගත නොහැක.

මෙරට ඇතැම් පාසල්වල ක්‍රිකට්‌ ගසන්නේ දරුවන් දෙමව්පියන්ගෙන් ඉල්ලා ගෙනත් දෙන මුදලෙනි. එහිදී වයස අවුරුදු 13 න් පහළ එක්‌ තරගයක්‌ පැවැත්වීම සඳහා සාමාන්‍යයෙන් විනිසුරු ගාස්‌තු සහ ක්‍රිකට්‌ පන්දුවට පමණක්‌ රුපියල් හාරදහසක්‌ පමණක වැය වේ. නමුත් ඒ තරගයක්‌ සඳහා වියදම් කළ හැකි අවම මුදලයි. ඔවුන් තරග දහයක්‌ ක්‍රීඩා කළොත් ගණන හතළිස්‌ දහසකි. ආහාර පාන සහ ක්‍රීඩාංගණ ගාස්‌තු ඇතුළු අනෙකුත් ගණන් බැලුවහොත් එම මුදල තරගයක්‌ සඳහා රුපියල් හය දහස පනිනු ඇත. එම පාසලේ වයස අවුරුදු 15 න් පහළ 17 න් පහළ සහ 19 න් පහළ ක්‍රිකට්‌ ගසන විට යන මුදල වසරකට මිලියන ගණනකි. නමුත් ඔවුන්ට මුදල් දෙන්නේ ක්‍රිකට්‌ ආයතනයෙන් නොව. ක්‍රිකට්‌ ආයතනයෙන් ඉඳ හිට ලණු පැදුරක්‌ හෝ ක්‍රීඩා උපකරණ කට්‌ටලයක්‌ දුන්නාට ඉන් සෑහීමකට පත්විය නොහැක. එසේ කිසිම දෙයක්‌ නොලැබෙන පාසල්ද ඕනෑ තරම් තිබේ. ඒ අනූව ක්‍රිකට්‌ හදන්නට නම් වතුරට බැස පීනන්නාක්‌ මෙන් මෙන් ක්‍රිකට්‌ බලධාරීන්ද වැඩ කළ යුතුව තිබේ. ජාතික ක්‍රීඩකයන්ටද ඒ ගැන සොයා බැලීම යුතුකමක්‌ කොට සැලකුවහොත් එයද රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට වාසනාවකි.

අසේල විතාන

Comments

comments

SHARE