සතා…

219
0

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ අවසන් කාල වකවානුව වූ එකල මෙරට වැසියන් නිදහස් දේශයක සිහින හදවතේ පොදි ගසමින් සිටි කාලයයි. සුද්දාගෙන් ඇහිදගත් ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටාවට තවාන් දමන්නට පෙරුම් පිරූ කාලයත් එයයි. “සිලෝන්” නමින් එවකට  ලෝකය හදුනන මේ පුංචි රටේ ක්‍රිකට් පිල අසල්වැසි ඉන්දියාවේ  මදුරාසි නගරයේ දී දකුණු ඉන්දීය ක්‍රිකට් පිල සමග සුහද තරගයකට එක් විය. චෙපොක් පිටියේ වාසිය හොදහැටි රදවාගත් සත්කාරක කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 521 ක් ලබා ඉනිම අත්හිටවූයේ පහසු ජයක් හිතේ සගවමිනි.

ප්‍රබල පන්දු බලකායකින් සවිමත්වු දකුණු ඉන්දීය කණ්ඩායම හමුවේ සිලෝන් පිලේ කඩුලු 3 ක් බිද වැටුණු විට පිටියට පිවිසියේ  සිහින් සිරුරක් හිමි දකුණත් පිතිකරුවෙකි. දකුණු ඉන්දීය පන්දු යවන්නන් කිසි ලෙසකින් නොසලකා හිතේ හැටියට පිත්ත හැසිරවූ මේ ඉලන්දාරියා චෙපොක් පිටියට රැස්වූ ක්‍රිකට් ලෝලීන් අතර වීරයෙක් වූයේ ඔහුගේ පිතිකරණයේ අලංකාරය නිසාමය. ලේට් කට් පහරේ රුසියෙකු වූ ඔහු පන්දුවට තමාවෙත එන්නට ඉඩහැර පිත්ත යන්තමින් හැඩකරමින් ස්ලිප් අතරින් පන්දුව තල්ලු කළ අයුරු විශ්මය ජනකය. පා ඉන්න දෙසින් ඇදෙන පන්දුව ඇගිලි තුඩු මත නැගෙමින් ඩීප් ෆයින් ලෙග් හරහා යොමු කළ අන්දම හරිම අපූරුය. සියල්ලන් ආකර්ෂණය කළ මේ ඉනිම විනාඩි 248 ක් පුරා දිග හැරුණු මනරම් සිනමාපටියක් සේ විචිත්‍රවත් බව පසුදින දකුණු ඉන්දීය පුවත් පත් සියල්ල වර්ණනා කර තිබුණි.

එවකට ලොව  ඉහළම නම් තැබූ පිතිකරුවන් කීපදෙනාම මේ ඉනිම තුලින් දුටු වගට ඉන්දීය ක්‍රීඩා වාර්තාකරුවෙකු තැබූ සටහන මේ ඉනිමට හිමිවූ ඉහළම සහතිකයයි.”සොර්බර්ස්  ගේ ඩ්‍රයිව් පහරේ ජවයත්” “හැසට් ගේ පිතිකරණයේ විශ්වාසයත්” “වීක්ස් ගේ පා හැසරවීමත්” ” නයිදු ගේ ගිනි කෙළියත්” එකම ඉනිමක දුටු බව ඔහු ලියා තිබුණි.මහදේවන් සතාසිවම් නම් මේ හැඩකාර පිතිකරුවා එදා එනම් 1947 වසරේ ලැබූ මේ දිත්ව ශතකය චෙපොක් පිටියේ ලාංකිකයකුගේ සුපිරිම ඉනිම බව අදටත් පිළිගැනීමයි.

1950 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය කණඩායම සමග සිලෝන් පිළ සුහද තරගයකට එක් විය. එදා කොදෙව් පිළ නියෝජනය කළ බහුතරය හමුවේ සිලෝන් පිළ ලකුණු 153 කට සීමාවිය. ෆ්‍රෑන්ක් වොරෙල් , ගෙඕ ට්‍රිබේ , ෆ්‍රෙඩ් ෆ්රීර් සහ ගෙඕ පොපේ වැනි දැවැන්තයින් හමුවේ හිස කෙලින් තබා ක්‍රීඩා කළ සතාසිවම් අමතක නොවන ලකුණු 96 ක් ලැබූ අතර ඔහුගේ දැවී යාමෙන් අනතුරුව ප්‍රතිවාදී පිලේ බහුතරය ඔහු අසලට පැමිණ සුභ පැතීය. තරගෙන් අනතුරුව ෆ්‍රෑන්ක් වොරෙල් ප්‍රකාශ කලේ ලෝක ක්‍රිකට් කණඩායමක් නම් කරනවානම් තමාගේ පළමු තේරීම සතාසිවම් බවය. එකී තරගයට ක්‍රීඩා කළ ශ්‍රීමත් ගාෆීල්ඩ් සොර්බර්ස් පසු  කලෙක සතාසිවම් අගයන්නේ මිහිපිට තමන් දුටු සුපිරිම පිතිකරුවා ඔහු බවට වර්ණනා කරමිනි.

1915 ඔක්තෝම්බර් 18 වැනිදා උපන් මහදේවන් සතාසිවම් මුලින් අකුරු කරන්නේ ශාන්ත ජෝශප් විදුහලෙනි. පසුව වෙස්ලි විදුහලින් ක්‍රිකට් දීප්තිමත් කරගන්නා ඔහු එවකට කැම්බල් පිටියේ වාර්තා රැසක් අලුත් කිරීමට සමත් විය. එවකට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ඔහු ලැබූ ලකුණු 142 ඉනිම අදටත් වෙස්ලි විදුහල සතු ස්වර්ණමය මතකයකි.

ද්‍රවිඩ සංගම් පිළ හෙවත් ටැමිල් යුනියන් කණ්ඩායමේ පතාක යෝධයකු වූ සතාසිවම් අන්තර් සමාජ තරග බිමේ දිත්ව ශතක 4 ක් සමග ශතක 44 ක් ලැබුවේ ඔහුගේ පිතිකරණයේ අපුර්වත්වයට හොද හැටි සාක්ෂි සපයමිනි. අවාසනාවට මේ අපුර්ව පිතිහරභය ටෙස්ට් ලකුණු සටහන් අතර දක්නට නොලැබුනේ එවකට අප ටෙස්ට් වරම් දිනා නොතිබුණු බැවිනි. අළු බදුන වෙනුවෙන් ඕස්ට්‍රේලියා සහ එංගලන්ත කණ්ඩායම් සංචාරය කරන අතර තුර ඉදහිට නැවක් කොළබ වාරයේ නැංගුරම් දැමුවොත් පමණක් සතාසිවම් ගේ පිලට තරගයක් හිමි විය. එසේ නොවේනම් අඩුම තරමේ දකුණු ඉන්දියාවට හෝ යායුතුය.එබැවින් සතාසිවම් ගේ ක්‍රීඩා දිවිය සිලෝන් පිළ හමුවේ පළමු පෙළ තරග 11 කට පමණක් සීමාවිය.

නිදහස් සටනේ අද්විතීය නාමයක් වූ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිනිපිරියක වූ සුරූපී රාජේන්ද්‍ර යුවතිය හා සතාසිවම් විවාහ වන්නේ 1941 දීය. 1948 දී සිලෝන් පිලට නායකත්වය දුන් සතාසිවම් එවකට මෙරට ජනප්‍රිය චරිතයක් විය. සතාසිවම් වෙනුවෙන් ඔහුට තැබූ ආදර නාමය “සතා” විය. ජනප්‍රියත්වය සමග සතාසිවම් ලුහු බැදි කාරණා සේම ඔහු ලොල් වූ පුරුදුද එමට විය. “සතා” ලෙස ඔහු ඇමතු සියල්ලන් එම නම ඔහුට කදිමට ගැලපුණු බවනම් සිතුවාට සැක නැත.

unnamed-21951 ඔක්තෝම්බර් 9 වන අගහරුවාදා උදෑසන බම්බලපිටිය පොලිසියට යාබද ශාන්ත ඇල්බන්ස් පෙදෙසේ අංක 07 හිමි “ජයමංගලම්” නිවස රට පුරා ප්‍රචලිත වන්නේ  නිවසේ ස්වාමි දුව ගරාජයේ මිය ගොස් සිටි බැවිනි. එය රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් වුයේ මියගොස් සිටියේ සතසිවම්ගේ බිරිද බැවිනි. ඒ වන විටත් බිරිදගෙන් දික්කසාදය අපේක්ෂාවෙන් සිටි සතාසිවම් වෙත බිරිද ඝාතනය කල බවට වූ චෝදනාව සුළු පටු නොවීය. සැක පිට රක්ෂිත බන්ධනාගාරව සිටි සතාසිවම් දරුණු අපරාධකරුවෙකු ලෙස ඇතැම්හු හංවඩු ගැසූහ. මාස 20 ක උත්සාහයක ප්‍රතිපලයක් ලෙස ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ගේ තවත් විප්ලවීය මෙහෙයුමකින් සතාසිවම් සියලු චෝදනාවන්ගෙන් සිදහස්  වන්නේ වංගෙඩිය වරදකරු වූ සුප්‍රකට තීන්දුවෙනි.

රටක් කැළබූ ඝාතනයක් සහ නඩු තීන්දුවකින් පසු මහදේවන් සතාසිවම් රට හැර ගියේය. පසුව සිංගප්පූරු ක්‍රිකට් කණ්ඩායමටත් මැලේසියා පිලටත් නායකත්වය දුන් ඔහු රටවල් තුනකට නායකත්වය දුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස විරල වාර්තාවකට හිමිකම් කීවේය. මහදේවන් සතාසිවම්  වයස අවුරුදු 62 දී  එනම් 1977 දී  තම ජීවන ගමනට සමුදෙන්නේද යලි කොළබදීය.

ප්‍රේමසර ඈපාසිංහ මහතාට අනුව ලේට් කට් පහරේ ඔහුගේ වීරයා සතාසිවම්ය. ශ්‍රීමත් ගාෆීල්ඩ් සොර්බර්ස්ට අනුව මිහිපිට ඔහු දුටු හොදම පිතිකරු මහදේවන් සතාසිවම්ය. එවකට අප ටෙස්ට් ලබා තිබුනේනම් හෝ ඔහු ටෙස්ට් වරම් දිනු පසු උපන්නේනම් සැබවින්ම ශ්‍රී ලංකා පිලේ “සතා” ලෙස ලොවක් දෙපාමුල රදවාගන්නා පිතිකරු සතාසිවම් වනවාට සැක නැත.

-මංජුල ලන්දෙකුඹුර-

Comments

comments

SHARE