රිදී කුසලානය කිරුළපනට

104
0

කොළඹ පාපන්දු ලීගය සංවිධාන කළ ‘රිදී කුසලාන‘ පාපන්දු තරගාවලියේ ජයග්‍රහණය කිරුළපන යුනයිටඩ් පිලට හිමි විය. කොළඹ සී. ආර්. පිටියේ පෙරේදා පැවැති කිරුළපන යුනයිටඩ් හා තොටළඟ හේනමුල්ල යුනයිටඩ් අතර අවසන් තරගයෙන් ගෝල් 3-1ක ජයක් කිරුළපන යුනයිටඩ් ක්‍රීඩකයෝ හිමිකරගත් අතර ඔවුන්ට රුපියල් 25000ක් සමග ‘රිදී කුසලානය‘ පිරිනැමිණි. අනු ශූරතාව දිනාගත් හේනමුල්ල යුනයිටඩ් පිලට රුපියල් 15000ක මුදලක් ප්‍රදානය කෙරිණි.

තරගයේ පළමු භාගයේදී කිරුළපන ක්‍රීඩා සමාජය ගෝල් 2-1ක ලෙස ඉදිරියෙන් සිටි අතර තරගය නිමාවීමට මිනිත්තුවක් තිබියදී රවිදු නදීප්‍රිය තෙවැනි ගෝලය ලබා ජය තහවුරු කළේය. තරගය ආරම්භවී සිවුවැනි මිනිත්තුව එළැඹෙද්දී හේනමුල්ල යුනයිටඩ් පිලේ නීල් ක්‍රිස්ටෝපාල් ගෝලයක් වාර්තා කළ අතර අනතුරුව 18වැනි මිනිත්තුවේදී හා 30 වැනි මිනිත්තුවේදී කිරුළපන ක්‍රීඩක රවීන් මධුසංඛ ගෝල් දෙකක් වාර්තා කළේය.

මේ තරගාවලියේ අවසන් පූර්ව වටයේදී කිරුළපන යුනයිටඩ් පිල ගෝල් 3-0ක් ලෙස ඕල්ඩ් ජෝස් ක්‍රීඩා සමාජය පරාජය කළ අතර හේනමුල්ල යුනයිටඩ් පිල ගෝල් 2-1කින් කොළොන්ස් ක්‍රීඩා සමාජය පරදා අවසන් සටනට පිවිසියේය.

පැරණිම පාපන්දු තරගාවලියක් වන මේ තරගාවලියට මෙවර කණ්ඩායම් 20ක් එක්වී සිටියහ. ත්‍යාග ප්‍රදානය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී හා කොළඹ පාපන්දු ලීගයේ සභාපති හර්ලි සිල්වේරා යන මහත්වරු ඊට සහභාගී වූහ.

Comments

comments

SHARE