කොල්කටා වස… චිතගොන් රස

687
0

ලොව චමත්කාරම ක්‍රීඩාවේ නවීන විලාසිතාවේ අලුත්ම  ලෝක ශුරයන් කවුරුන්දැයි ලොවම දෑස් දල්වා බලාසිටි මොහොත එයයි. 2016 අප්‍රේල් 03 වනදා රාත්‍රියේ  කොල්කටා ඊඩන් ගාර්ඩන් පිටියේ අවසන් පන්දුවාරය දක්වා විස්සයි විස්ස අවසන් තරගය දික්වූයේ හදවතේ රිද්මය මොහාතකට වෙනස්කරමිනි. එය කැලිප්සෝ ක්‍රිකට් උරුම කොදෙව්වන්ට පමණක් නොව ලොවට ක්‍රිකට් උගැන්වූ හිරු නොබසින දේශයටත් ක්‍රිකට් වෙනුවෙන් හුස්ම ගන්නා ආසියාතිකයන්ටත් එකසේ පොදු විය.

යළි ලෝක කුසලානයට හාදු දෙන්නටනම් කොදෙව්වන්ට ලකුණු 19 ක් අවැසි විය. ඒ වනවිටත් පිත්ත පදම් කර සිටි ප්‍රහාරකයා මාලන් සැමුවෙල්ස් අනිත් අන්තයේය. එංගලන්ත නායක මෝර්ගන්ට දෙවරක් සිතන්නට අවශ්‍ය නොවීය. පන්දුවාර දෙකකදී ලකුණු 17 ක් පමණක් ලබාදී තීබූ බෙන් ස්ටොක්ස් පිළිබද දෙගිඩියාවක් නොවූයේ ශ්‍රී ලංකාව සමග වූ තරගයේදීද මැතිව්ස්ව මෙල්ල කලේ ඔහු බැවිනි. නමුත් හදිස්සියේම අවදිවූ කර්ලොස් බ්‍රත්වෙට් පිට පිටම පන්දුව  වරක් දෙවරක් තුන්වරක් නොව යලිත් වරක්ද නරබන්නන් වෙත යවා සුද්දන් හාන්සි කලේ අදහාගත නොහැකි ලෙසය. අතේ තීබූ ලෝක කුසලානයට උඩ දමා පයින් ගැසූ වේදනාව කොතරම්ද යත් මුහුණ රතු කරගත් බෙන් ස්ටොක්ස් ඇති පමණට කදුළු සැලුවේ පිටියේදී පමණක්ම නොවේ. ඉන්දියාවේ හෝ පාකිස්ථානයේ නූපන් වාසනාවට බෙන් ස්ටොක්ස් කරදරයකින් තොරව හීත්රෝ  ගුවන් තොටුපලින් ලන්ඩන් වෙත ගොඩබැස්සත් අහංකාර පුවත් පත් සහ වෙබ් අඩවි කීපයක්ම ඔහුට ඇනුම් පද කීවේය.

තර්ක විතර්ක රැසක් අවසන එංගලන්ත පිල බංගලිදේශ සංචාරය මෙවර පිළිගත්තේ වෙනදාටත් වඩා පරිස්සමෙනි. ඒ හතුරුසින්හගේ බැල්ම මත දැන් බංගලිදේශය ක්‍රිකට් ලෝකයට නපුරු වී ඇති නිසාය. එංගලන්තයට වෙන්න ගිය නපුර එක්දින තරගාවලියේදී පලවා හැරියේ බෙන් ස්ටොක්ස් විසිනි. පළමු තරගයේ ශතකයක් ලැබූ ඔහු තීරණාත්මක අවසන් තරගයේ ජය වෙනුවෙන් තම පිල රැගෙන ගියේ තරගාවලියේ වීරයා සම්මානයද දෝත දරාගනිමිනි.

චිතගොන්හි පළමු ටෙස්ට් තරගයේ දින හතරක් ගෙවී ගියේ දෙපිලටම වාසිය දෝලනය කරමිනි.බංගලියන්ට තරගයක් දෙන්නටනම් ලකුණු පුවරුවට දැනෙන යමක් කලයුතු බව වටහාගත්  ස්ටොක්ස් දෙවන ඉනිමේ දග කැවෙන තණ තීරුවේ ඉවසිලිවන්ත ඉනිමක් දියත් කලේ ලකුණු 85 ක්ද ලබමිනි. පස්වන දිනට තරගය එළබෙන විටත් ජයග්‍රහණය කාටදැයි නිශ්චිත නැත. එංගලන්තයට අවැසි කඩුලු 2 ක් පමණය. ඉතිහාසයේ පළමු වතාවට ක්‍රිකට් ඉගැන්වූ එංගලන්තයට එරෙහිව ටෙස්ට් ජයක් ලබන්නට  බංගලිදේශයට අඩුව තිබුනේ ලකුණු 33 ක් පමණකි.

තම මංගල ටෙස්ට්  තරගයට ක්‍රීඩා කලත් පිරිපුන් පිතිකරණ රටාවකින් හැඩතල එකතුකළ ශබීර් රහමන් සදාකාලික මතකයක් වෙනුවෙන් තම කණ්ඩායම රැගෙන යමින් තිබුණි. එය දිනයේ හතරවන පන්දුවාරයයි. ජය වෙනුවෙන් ලකුණු 22 ක් පිටුපසින් සිට ශබීර් අනිත් අන්තයේ මොහාතකට තනි වද්දී දැන් පිතිකරුවා ටයිජුල් ඉස්ලාම්ය. කොදෙව්වන්ට පැරදුනත් බංගලියන්ට ටෙස්ට් තරගයක් පැරදිය නොහැකි බව වටහාගත් ස්ටොක්ස් ඕවරයේ පළමු පන්දුවම  හරි එල්ලයේ  පතිත කලේය. පා ආවරණයේ වැදුණු පන්දුවට විනිසුරු ධර්මසේන නිහඩය. නමුත් යළි තීරණය විමසූ විට වාසිය එංගලන්තයටය. ඉතිහාසගත අවමානයෙන් ගැලවෙන්නට එංගලන්තයට දැන් අවැසි කඩුල්ලක් පමණය. තැන්පත් පිතිකරු ශබීර් රහමන් අන්තයට එන්නට පෙර යමක් කළහොත්  වඩාත් හොදය. ඕවරයේ තුන්වන පන්දුව අවසන් පිතිකරු ශෆිඋල් ඉස්ලාම් වෙතය.  නිවැරදි එල්ලයේ පතිතවන පන්දුව පා ආවරණයේ වැදුණු සැනින් කල ඉල්ලීමට විනිසුරු ධර්මසේන එවරනම් එකගය. නමුත් බංගලියන් දෝතට තුරුළු කරගත් ජය බිම දමන්නට නොහැකි නිසා තීරණය යළි විමසිය. එවරත් වාසිය ක්‍රිකට් උපන් රටටය. පන්දු තුනක් තුල තීරණාත්මක කඩුලු දෙකක් දවාගනිමින් අවමානයෙන් තම පිල ගලවාගත් බෙන් ස්ටොක්ස් තරගයේ වීරයා ලෙස කිරුළු දරන්නේ එදා ලෝක කුසලානයේ වූ පව් කමා කරන්නයැයි රට වැසියන්ගෙන් ඉල්ලමිනි.

2010 වයස අවුරුදු 19 පහළ ලෝක කුසලානයේදී ඉන්දියාවට එරෙහිව ශතකයක් ලබා දිගු ගමනක පෙරනිමිති පලකල බෙන් ස්ටොක්ස් පළමු ටෙස්ට් අත්දැකීම ලබන්නේ 2013 අළු බදුනේදීය. එංගලන්තයට අතිශය නීරස වූ තරගාවලියේ පර්ත් ටෙස්ට් තරගය ඔහුගේ දෙවන ටෙස්ට් තරගයයි. දෙවන ඉනිමේ දැඩි පීඩනය මැද අංක 6 පිතිකරු ලෙස පැමිණ ඕස්ට්‍රේලියා ජය පමා කරමින් ස්ටොක්ස් ලැබූ ශතකය ඔහුගේ වීරත්වයත්වයට හොදම සාක්ෂියකි. 5-0 ලෙස දරුණු පරාජයක් එංගලන්තය ලැබුවත් පිත්තෙන් සේම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ස්ටොක්ස් වෙත කණ්ඩායමේ ස්ථානය තහවුරු කරගැනීම එතරම් අපහසු නොවීය.

2016 ජනවාරියේ එංගලන්තය තම ශීත සමය සමරන්නේ හිරු හොදින් වැටෙනා දකුණු අප්‍රිකාවේදීය. නුපුරුදු බිමේ සුපුරුදු ලෙස පිත්ත හැසිරවූ
ස්ටොක්ස් කේප් ටවුන් ටෙස්ට් තරගයේ වාර්තාගත ඉනිමක් දියත් කරන්නේ ටෙස්ට් පිටියේ වසර ශතකයකට එහා ඉතිහාසයක් උරුම එංගලන්තය වෙනුවෙන් වේගවත්ම දිත්ව ශතකය ලබමිනි. එය ලෝක ඉතිහාසයේද  වේගවත්ම ටෙස්ට් ලකුණු 250 පසුකර යාමයි. අංක 6 පිතිකරු ලෙසින් පැමිණ  ලොව ඉහළම ටෙස්ට් ඉනිම ලෙස පන්දු 198 කින් ලැබූ ලකුණු 258 තවදුරටත් වාර්තා අලුත් කරන්නේ දෙවන දිනයේ මුල් පැය දෙක තුල පමණක් ඔහු  ලකුණු 130ක් ලබා ගනිමිනි. එපමණක් නොව 6 වන කඩුල්ලට ජොනි බැරිස්ටො සමගින් ලකුණු 399 ක් එකතු කරන්නේ තවත් වාර්තාවක්ද සමගිනි.

එංගලන්ත අභිමානය වෙනුවෙන් තම දහඩිය කැපකරනා බෙන් ස්ටොක්ස් උපන්නේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරදීය. ලීග් රග්බි ක්‍රීඩකයෙකු වූ ඔහුගේ පියා ස්ටොක්ස්ගේ වයස අවුරුදු 12 දී එංගලන්තයට පා තබන්නේ රග්බි පුහුණුකරුවකු වශයෙනි. පියාගේ අඩි පාරේ නොගිය පුතා ක්‍රිකට් පන්දුව තෝරා ගත්තේය. වසර කීපයකින් යළි දෙමාපියන් උපන් රටට ගියත් ඔහු ක්‍රිකට් පිටියේ තනි නොවුනේ උපතින් රැගෙන ආ හැකියාව නිසාය.අතේ තීබූ ලෝක කුසලානයට උඩ දමා පයින් ගසා විටක ඔහු  නූපන් රටට සතුරකු විය. නමුත් ඉන් මාස 6 ක් ඉක්ම යනවිට වෙන්නටගිය ලැජ්ජාව මකා දමා එකී  නූපන් රටටම ඔහු  වීරයෙකු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ අයස්කාන්ත බව යළි යලිත් පසක් කරමිනි.

-මංජුල ලන්දෙකුඹුර-

Comments

comments

SHARE