මාලිංගට මේ වසරේදී ක්‍රිකට් බෑ

15318
0

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අත්දැකීම් බහුලම වේගපන්දු යවන්නා වන සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගට මෙම වසර තුළදී ක්‍රීඩා කළ නොහැකි වාතාවරණයක් උද්ගතවී තිබේ. ඒ ඔහුගේ පාදයේ ආබාධය තවමත් 100%ක් සුව නොවීම හේතුවෙනි. ඒ හේතුව නිසා ඔහුට බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ ඇතුළත්ව පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමිව ඇත.

ලසිත් මාලිංගගේ ආබාධය පිළිබඳව ඔහුට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන් අප විමසීමක් සිදුකළ අතර, එහිදී ඔහු පෙන්වාදුන්නේ මෙම වසර අවසානයේ දියත්වන දකුණු අප්‍රිකානු සංචාරය වනවිට මාලිංගගේ පාදයේ ආබාධය බොහෝදුරට සුවවනු ඇති බවයි. එමෙන්ම මාලිංග මේ වනවිට සිය පුහුණුවීම් කෙටිකාලීනව ආරම්භ කර තිබුණද, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ තුන්කොන් එක්දින තරගාවලියට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත බවද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මාලිංගගේ ආබාධය පිළිබඳව වැඩිදුර අදහස් පළකළ අර්ජුන ද සිල්වා මහතා “මාලිංගගේ ආබාධ තත්ත්වය දැන් බොහෝදුරට සුව තත්ත්වයක් පෙන්නුම් කරනවා. දකුණු අප්‍රිකානු සංචාරය වනවිට මාලිංග සියයට සියයක් සුවවේවි යැයි අපි අපේක්ෂා කරනවා. එසේම බොහෝදුරට මාලිංගට ක්‍රීඩා කරන්න වෙන්නෙ ලබන අවුරුද්ද මුල පැවැත්වෙන දකුණු අප්‍රිකානු තරගාවලියේ එක්දින හා විස්සයි20 තරග සඳහායි. නොවැම්බර් මස පැවැත්වෙන තුන්කොන් තරගාවලිය සඳහා ඔහු ක්‍රීඩා කිරීමේ සම්භාවිතාව අවමයි. අපිට ස්ථිර වශයෙන් මාලිංග ක්‍රීඩා කරනවා යැයි නිර්දේශ කළ හැකි වන්නේ දකුණු අප්‍රිකානු තරගාවලියේ සිට” යැයි පැවසීය.

කෙසේ වෙතත් ලසිත් මාලිංග පසුගියදා නිමාව දුටු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේශ්‍රී ලංකා සංචාරයේ, තිලකරත්න ඩිල්ෂාන් සහභාගි වූ අවසන් තරගයට සහභාගි වීමේ අපේක්‍ෂාවෙන් පසුවූ අතර, එම අවස්ථාවද ආබාධය හේතුවෙන් ඔහුට අහිමිවිය. පසුව මාලිංග එළැඹෙන තුන්කොන් තරගාවලිය ඉලක්ක කරගනිමින් කෙටිකාලීනව පුහුණුවීම් ආරම්භ කළද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ නිර්දේශය අදාළ තරගාවලිය සඳහා මෙතෙක් හිමිව නොමැත.

ඒ අනුව මාලිංගගේ මෙම වසරේ එක්දින තරග ක්‍රීඩා කිරීමට තබා තිබූ අපේක්‍ෂා සියල්ල බොඳව තිබේ. තුන්කොන් තරගාවලියෙන් අනතුරුව එක්දින හෝ විස්සයි20 තරගාවලියක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව නොමැති අතර, ලබන වසරේ ජනවාරි මස 20 වැනිදා දකුණු අප්‍රිකාවේදී ආරම්භ වන ශ්‍රී ලංකා -දකුණු අප්‍රිකානු පළමු විස්සයි20 තරගය තෙක් මාලිංගට විවේකයක් හිමිව ඇත.

මේ වනවිට ටෙස්ට් තරගවලින් සමුගෙන සිටින මාලිංග, එක්දින තරග හා විස්සයි20 තරග පමණක් ක්‍රීඩා කරන අතර, අවසන් වරට ජාත්‍යන්තර තරගයකට සහභාගි වී ඇත්තේ මෙම වසරේ පෙබරවාරි මස 25 වැනිදා බංග්ලාදේශයේ පැවැති ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට එරෙහි තරගයටය. එහිදී ලකුණු 26කට කඩුලු 04ක් දවාගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවීමට මාලිංග සමත්විය. මාලිංග අවසන් වරට එක්දින තරගයක් සඳහා සහභාගි වී ඇත්තේ 2015 වසරේ නොවැම්බර් මස 07 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය.

Comments

comments

SHARE