මැතිව්ස්ට තවත් ඇබැද්දියක්

1701
0

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ සහභාගීත්වයෙන් සිම්බාබ්වේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියද ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ට අහිමි වී යැමේ අවදානමක්‌ ඇති බව වාර්තා වේ. ඒ අනුව එම තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීම බොහෝ දුරට උපනායක දිනේෂ් චන්දිමාල් විසින් දරනු ඇතැයි සඳහන් වේ.

අදාළ තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්‌ඩායම දෙසැම්බර් මස දකුණු අප්‍රිකාවේ සංචාරය කරන අතර එහිදී ටෙස්‌ට්‌ තරග තුනක්‌, විස්‌සයි විස්‌ස තරග තුනක්‌ සහ එක්‌දින තරග පහක්‌ පැවැත්වෙන අතර අනතුරුව ඔස්‌ටේ්‍රලියාවේදී විස්‌සයි විස්‌ස තරග තුනකටද සහභාගි වීමට නියමිතය. එබැවින් එම දීර්ඝ සංචාරය ඉලක්‌ක කර ගෙන මැතිව්ස්‌ට තවදුරටත් විවේක ලබාදීමට ක්‍රිකට්‌ තේරීම් කමිටුව සාකච්ඡා කරන බවද වාර්තා වේ.

”මම හිතන්නෙ මැතිව්ස්‌ට සම්පූර්ණම සිම්බාබ්වේ සංචාරයට යන්න බැරි වෙයි. නමුත් චන්දිමාල් නම් තුන්කොන් එක්‌දින තරගාවලිය වන විට සම්පූර්ණ සුවය ලබයි. අපි තවම සාකච්ඡා කරනව ඉදිරියේදී මොකද කරන්නෙ කියලා.” යනුවෙන් සනත් ජයසූරිය මහතා ‘දිවයින’ කළ විමසීමදී පැවසීය.

මැතිව්ස්‌ පසුගිය වසරක පමණ කාලය තුළදී වැඩි තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර තිබීම සහ ඔහුගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ පැවැත්වෙන ප්‍රධාන තරගාවලිවලදී අවදානමක්‌ නොගැනීම සඳහා මෙසේ විවේක ගැන්වීමට වැඩි අවස්‌ථාවක්‌ පවතී. කෙසේ වෙතත් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරද දකුණු අප්‍රිකානු සංචාරයේ සිට යළිත් කණ්‌ඩායමට එක්‌වීමට නියමිතව තිබේ. නමුත් ලසිත් මාලිංග මේ වන විට පුහුණුවීම් අරඹා තිබෙන බැවින් ඔහුව සිම්බාබ්වේ පැවැත්වෙන තුන්කොන් එක්‌දින තරගාවලියට සහභාගි කරවීමේ අවස්‌ථාවක්‌ පවතී.

දිනේෂ් චන්දිමාල්ගේ ඇඟිල්ලේ ආබාධය දැන් සුවවෙමින් පවතින අතර ටෙස්‌ට්‌ තරග දෙක අවසන් වන විට ඔහුට සම්පූර්ණ සුවය ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඒ අනුව ඔහු එක්‌දින සංචිතයේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවනු ඇතැයි තවදුරටත් සඳහන් වේ.

ටෙස්‌ට්‌ තරග දෙකෙන් පසුව ලබන මස 14 වැනිදා අදාළ තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය ආරම්භ වන අතර එහිදී පළමු තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වේ. අදාළ තරගාවලියේ අවසන් මහා තරගය ලබන මස 27 වැනිදා පැවැත්වෙන අතර එක්‌ කණ්‌ඩායමක්‌ ප්‍රතිවාදී කණ්‌ඩායම් සමග තරග දෙක බැගින් සහභාගි වේ. ඒ අනුව අවසන් මහා තරගයට පැමිණෙන කණ්‌ඩායම එම තරගාවලියේදී සමස්‌ත තරග පහකට ක්‍රීඩා කිරීමට නියමිතය.

Comments

comments

SHARE