ජාතික ශූරතා පාපැදි තරගාවලියට කණ කොකා හඩන ලකුණු

82
0
Elite Men Road Race at the 2015 AFRICAN CONTINENTAL CHAMPIONSHIPS - ROAD in Wartburg, South Africa

ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැදගත්ම තරග ඉසව්වක් ලෙස සැලකෙන ජාතික පාපැදි ශූරතාවලිය අනුග්‍රාහකයෙකු නොමැතිවීමෙන් මේ වසරේ පැවැත්වීම අවිනිශ්චිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මගින් වාර්ෂිකව සංවිධාන කරන ජාතික පාපැදි ශූරතාවලිය සෑම වසරකම ඔක්තෝබර් මාසයට පෙර පැවැත්වීම සාමාන්‍යයෙන් සිදුවුවද මෙවර තවමත් ඒ සඳහා කිසිදු සූදානමක් නොමැතිවීමෙන් පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කළකිරීමට පත්ව සිටිති.

යම් හෙයකින් මෙවර ජාතික පාපැදි ශූරතාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේදී පිරිනැමෙන ලකුණු අහිමිවී යන අතර වසරේ ජාතික පාපැදි ශූරයෙකු බිහි නොවනු ඇත. මෙවර ජාතික පාපැදි ශූරතාවලිය පැවැත්වීමේ සත්කාරකත්වය ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමය ඉල්ලා ඇති අතර යම් හෙයකින් ඔවුන්ට එය පවත්වා ගැනීමේ හැකියාව නොළැඹුණහොත් කුරුණෑගල දිස්ත්‍රික් පාපැදි සංගමය එය භාර ගැනිමට කැමැත්ත පළකොට තිබූ බව වාර්තා වේ.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාපැදි නිලධාරීන්ට අනුග්‍රාහකයෙක් සොයා ගැනීමේ ප්‍රශ්නයක් ඇතිවීමේ ඉඩකඩ ඉතා අවම බැවින් ජාතික ශූරතාවලියේ සත්කාරකත්වය එම සංගමයට ලබාදිය යුතුව තිබූ බවට පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පෙන්වා දෙති. එසේ වූයේ නම් වේ වනවිට ජාතික පාපැදි ශූරතාවලිය කලට වේලාවට පැවැත්වීමේ අවකාශය තිබූ බව ඔවූහූ පෙන්වා දෙති.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න මහතාගෙන් කළ විමසීමකදී පැවැසූවේ ජාතික ශුරතාවලිය පැවැත්වීමේ අදහස තවමත් අත්හැර නොමැති බවය. එය සෑම වසරකම ඔක්තෝබර් මාසයට පෙර අවසන් වුවද තවමත් අනුග්‍රාහකයෙකු නොළැඹීම ප්‍රමාදයට හේතුවූ බව ලීලාරත්න මහතා පැවැසීය.

“ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ නිලධාරීන් මේ පිළිබඳව සාකච්ඡා ගණනාවක් තිබ්බා. නොවැම්බරයේ ජාතික ශූරතාවලිය පැවැත්වීමට හැකි වෙයි කියා විශ්වාස කරනවා” ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම්වරයා පැවැසීය.

පසුගිය වසරේ ඔක්තෝබර් 30 හා 31දිනවල අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් ජාතික පාපැදි ශූරතාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය කටයුතු කළ අතර ඒ සඳහා රුපියල් මිලියන 3ක අනුග්‍රාහකත්වයක්ද ලැබී තිබුණි. එම ජාතික පාපැදි ශූරතාවලියට කේවල, කාලය මැනීමේ හා මාර්ග පාපැදි තරගය ඇතුළත් විය.

කේවල හා කාලය මැනීමේ තරගවලට ‌දිස්‌ත්‍රික්‌කයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනා බැගින්ද, සුපිරි පිරිමි හා වයස අවු. 23 න් පහළ පිරිමි ඉසව් සඳහා ශ්‍රේණිගතයේ එක්‌ එක්‌ දිස්‌ත්‍රික්‌ක වෙනුවෙන් සිටින ක්‍රීඩකයන් සංඛ්‍යාව අනුව තීරණය කෙරුණි. මීට අමතරව සුපිරි කාන්තා, කනිෂ්ඨ පිරිමි, කනිෂ්ඨ කාන්තා මෙන්ම වයස අවු. 23 න් පහළ කාන්තා තරගයන් සඳහා සීමා රහිතව තරගකරුවන්ට ඉදිරිපත්වීමේ අවස්‌ථාව සංවිධායකයෝ උදා කළහ. එම තරගාවලියට සමගාමීව වයස අවු. 40-55 ත් අතර හා වයස අවු. 55 ඉහළ වශයෙන් ප්‍රවීණ පාපැදි තරගකරුවන්ට වෙන්වූ තරගයක්‌ද පැවැත්වුණි.

කාලය මැනීමේ තරගවලදී ක්‍රීඩකයෙකුට ලකුණු 50ක්ද, මාර්ග පාපැදි තරගයේදී ක්‍රීඩකයෙකුට ලකුණු 40 බැගින්ද ප්‍රදානය කෙරුණි. පසුගිය ජාතික පාපැදි ශූරතාවලියේ සුපිරි පිරිමි තරගයේ රන් පදක්කම ගම්පහ දිස්ත්‍රික්කයේ නවීන් රුචිර දිනාගත් අතර, සුපිරි කාන්තා තරගයේ රන් පදක්කම කළුතර නිලූකා ශ්‍යාමලී දිනාගත්තාය.

Comments

comments

SHARE