සිම්බාබ්වේ ටෙස්ට් සංචිතයට නවකයින් තිදෙනෙක්

513
0

ශ්‍රී  ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම්කරන ලද ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතයට නවකයෝ තිදෙනෙක් ඇතුළත් කර සිටිති.
වේග පන්දු යවන්නන් වන ටෙන්ඩායි චතාරා සහ ටිනෂි පන්‍යන්ගාරා ශාරීරික ආබාධ හේතුවෙන් මෙවර සිම්බාබ්වේ සංචිතයට ඇතුළත් කර නැත. ඔවුන් වෙනුවට කාල් මුම්බා, තරිසායි මුසකන්දා සහ තවුරායි මුසරබානි ටෙස්ට් සංචිතයට ඇතුළත් කරනු ලැබ ඇති නවක ක්‍රීඩකයෝ වෙති.

මේ අතර කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටි ක්‍රිස් මොෆූ සහ මැල්කම් වොලර් නැවතත් කණ්ඩායමට එක්ව සිටිති. ටෙස්ට් තරග 9 කට ක්‍රීඩා කර ඇති ක්‍රිස් මොෆූ අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගි වූයේ 2011 වසරේදීය. චතාරා සහ ටිනෂි පන්‍යන්ගාරා කණ්ඩායමේ නොමැති හෙයින් මොෆූ නැවතත් සංචිතයට කැඳවනු ලැබුවද ටෙස්ට් කඩුල්ලක් දවාගැනීම සඳහා ඔහුගේ සාමාන්‍යය වන්නේ ලකුණු 44.45 කි.

සිම්බාව්වේ පිලේ නායකත්වය ග්‍රේඒම් ක්‍රීමර් වෙත පැවරී තිබේ. මෙය නායකයකු වශයෙන් ක්‍රීමර්ගේ දෙවැනි ටෙස්ට් තරගාවලියයි. ඔහුගේ පළමු ටෙස්ට් තරගාවලිය වූ නවසීලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදී සත්කාරක සිම්බාබ්වේ පිල 2-0 ක පරාජයක් ලැබීය.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මේ මස 29 වැනිදා හරාරේ නුවරදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සිම්බාබ්වේ පිලේ 100 වැනි ටෙස්ට් තරගයද වෙයි.

සිම්බාබ්වේ ටෙස්ට් සංචිතය
ග්‍රේඒම් ක්‍රීමර් (නායක), ටිනොතෙන්ඩ මාවෝයෝ, හැමිල්ටන් මසකඞ්සා, ක්‍රෙග් අර්වින්, ෂෝන් විලියම්ස්, රෙගීස් චකබ්වා, පීටර් මුවර්, ඩොනල්ඞ් ටිරිපානෝ, ක්‍රිස්ටෝෆර් මොෆූ, තවුරායි මුසරබානි, මයිකල් චිනෝයා, බ්‍රයන් චාරි, සිකන්දර් රාසා, මැල්කම් වොලර්, කාල් මුම්බා සහ තරිසායි මුසකන්දා

Comments

comments

SHARE