කොදෙව්වන්ට දැවැන්ත ජයක්

472
0

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවන එක්දින තරගයෙන් ලකුණු 109 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමත් සමගින් තරගාවලියද ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම  සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 348 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඕවර 42.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 238 ක් පමණී.

පළමු ඕවරයේ දෙවැනි පන්දුවේදී සඳුන් වීරක්කොඩිට ලකුණු ලබානොදී දවාගැනීමට රොන්ෆෝඞ් ඩීපන් සමත්වු අතර මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 10 ක් වනවිට ධණුෂ්ක ගුණතිලක දවාගැනීමටද ඔහු සමත් වූයේය.

පන්දුවෙන් දස්කම් දැක්වූ ශෙහාන් ජයසූරීය පිත්තෙන්ද දස්කම් දක්වමින් පන්දු 113 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 119 ක් රැස්කිරීමට සමත්විය.

රෝව්මන් පවෙල් ලකුණු 45 කට කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 347 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට සමත්විය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කයිල් හෝප් ලකුණු 107 ක් රැස්කර සිටියදී ධණුෂ්ක ගුණතිලකගේ පන්දුවකට සඳුන් වීරක්කොඩි අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියේය. පන්දු 114 කට මුහුණදුන් කයිල් හෝප්ගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහර හතරක් ඇතුළත් විය.

කයිල් හෝප්ට අනගි සහයක් ලබාදුන් අනෙක් ආරම්භක පිතිකරුවාවූ චැඞ්වික් වෝල්ටන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 52 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 70 ක් රැස්කිරීමට සමත්වූ අතර අසාද් ෆුදාදීන්ද අර්ධ ශතකයක් (57) ලබාගැනීමට සමත්විය.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ රෝව්මන් පවෙල් පන්දු 22 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහර හයක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම ප්‍රබල තත්වයක් කරා ගෙන ගියේය.

චැඞ්වික් වෝල්ටන් සමග එක්ව පළමු කඩුල්ල සදහා ලකුණු 111 ක සම්බන්ධතාවයක් පැවැත්වූ කයිල් හෝප් දෙවැනි කඩුල්ල සදහා අසාද් ෆුදාදීන් සමග එක්ව ලකුණු 109 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය.

පිටදඟ පන්දු යවන ශෙහාන් ජයසූරීය දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 54 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම – ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 347
(චැඞ්වික් වෝල්ටන් 70, කයිල් හෝප් 107, අසාද් ෆුදාදීන් 57, රෝව්මන් පවෙල් 52, ශෙහාන් ජයසූරීය 54/4, බිනුර ප්‍රනාන්දු 70/2)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – ඕවර 42.1 කදී සියලුදෙනා දැවී 238
(ශෙහාන් ජයසූරීය 119, චරිත් අසලංක 44, දසුන් ශානක 32, රෝව්මන් පවෙල් 45/3, රොන්ෆෝඞ් ඩීපන් 41/2, කයිල් මේයර්ස් 56/2)

Comments

comments

SHARE