ජාතික බැඩ්මින්ටන් තරගාවලියේදී හොද හොද සෙල්ලම්

135
0
file photo

මේ දිනවල කුරුණෑගල ක්‍රීඩාංගණ දෙකක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන 64 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා පරදා ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට සිදුවූ අපහසුතාවන් කැපී පෙනුණි.

ඒ අනුව කුරුණෑගල බෝයගනේ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී හා මහනගර සභා ගෘහස්ථ පිටියේදී පැවැති මෙම තරගාවලියේදී ක්‍රීඩක-ක්‍රීඩිකාවන් බලවත් අපහසුතාවන්ට ලක්වූ අතර, එහිදී බෝයගනේ ක්‍රීඩාගාරයේ ආලෝක තත්ත්වය දුර්වල මට්ටමකින්ද, ක්‍රීඩා පිටිය ලිස්සනසුලු ස්වභාවයක් හා ආහාර ලබාගැනීමේ ගැටලුවකටද ඔවුන් මුහුණ පා තිබිණි.

එහිදී කි.මී. 3-4ක් දුර ගෙවා ඔවුන්ගේ දිවා ආහාරය සොයායෑමට සිදුව තිබූ අතර, ක්‍රීඩාංගණ දෙකක තරග පැවැත්වීම හේතුවෙන් ක්‍රීඩකයන් අධික තෙහෙට්ටුවටද පත්වී තිබීම දැකිය හැකිවිය.

ඊයේ පස්වරු 2.30ට ආරම්භවීමට තිබූ මිශ්‍ර අර්ධ අවසන් පූර්ව වටය සඳහා තරග 4ක් පැවැත්වීමට නියමිතව තිබුණද එම කාලය වනවිට පැවැත්වීමට හැකිව තිබුණේ තරග තුනක් පමණි. අනෙක් තරගය සඳහා සහභාගි වන ක්‍රීඩකයකු වන මධුක දුලංජන තරග කිරීමට නියමිත ක්‍රීඩාංගණයට කි.මී. 6ක් පමණ දුරින් පිහිටි නගර සභා පිටියේදී පැවැත්වෙන අවුරුදු 19න් පහළ බාලක තරගයක් ක්‍රීඩා කර පැමිණෙන තුරු එම තරගය පමා කිරීමට සිදුව තිබීම ක්‍රීඩකයන්ගේ අපහසුතාවට කදිම නිදසුනකි.

තවද එම මිශ්‍ර තරගවල අවසන් පූර්ව තරග බෝයගනේ ක්‍රීඩා පිටියේදී අද (28දා) පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබුණද, ආලෝක තත්ත්වයේ දුර්වලතා හේතුවෙන් එම තරග ඊයේ දිනයේ පස්වරුවේදීම පැවැත්වීමට සිදුවූයේ එම වේලාවට පැවැත්වීමට නියමිතව තිබූ විවෘත පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටය ක්‍රීඩකයන්ගේ දැඩි ඉල්ලීම මත අද දිනයට කල් තබමිනි.

විවෘත පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටයේ තරග මෙම ආලෝක තත්ත්වය යටතේ ක්‍රීඩා කිරීමට වඩා මිශ්‍ර අවසන් පූර්ව වටය එම ආලෝක තත්ත්වය යටතේ පැවැත්වීමට ක්‍රීඩකයන් කැමැතිව ඇත්තේ මිශ්‍ර තරගවලට වඩා කේවල තරගවල දැඩි තරගකාරීත්වය නිසා බවද වාර්තා විය.

මේ අතර කුරුණෑගල නගර සභා පිටියේදී පැවැති තරග කිහිපයක්ද පසුවට කල් තබා ඇත්තේ ෂට්ල් කොකුවල හිඟතාවය නිසා බවද දැනගන්නට ලැබුණි. එම තත්ත්වය බෝයගනේ තරගවලටද බලපා තිබූ අතර, කොළඹින් තවත් ෂට්ල් කොකු එනතෙක් භාවිත කළ ෂට්ල් කොකුවලින් ක්‍රීඩා කිරීමට සිදුව ඇති බවත්, ඇතැම් තරග පසුවට කල් තැබීමට තීරණය වූ බවත්, තරගාවලිය ආවරණය කිරීමට ගිය මා හට බොහෝ දෙනකු පැවැසීය.

ඊයේ පැවැති විවෘත කාන්තා කේවල තරගවලදී අචිනි රත්නසිරි, දිල්මි ඩයස්, තිළිණි හෙන්දහේවා හා කවිඳි ඉෂාදිකා අවසන් පූර්ව වට සඳහා සුදුසුකම් ලබා ගනිද්දී මිශ්‍ර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නිලුක කරුණාරත්න/රේණු චන්ද්‍රිකා ද සිල්වා යුගලය හා බුවනෙක ගුණතිලක/කවිඳි ඉෂාදිකා යුගලය සමත් වූහ.

මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන කනිෂ්ඨ තරගාවලියේ ඊයේ මෙම ක්‍රීඩා පිටියේදීම පැවැති අවුරුදු 17න් පහළ බාලිකා තරගවලදී හසිනි අම්බලන්ගොඩ, අමාලි සමරසිංහ, අනුරංගි මාසකෝරාල හා දිල්මි ඩයස් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනිද්දී අවුරුදු 19න් පහළ බාලිකා තරගවලදී තිසුරි පීරිස්, හසාරා විජේරත්න, බුත්මි ගලගමගේ හා ලසන්ගනා හෙට්ටිආරච්චි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

අද අර්ධ අවසන් පූර්ව හා අවසන් පූර්ව වටයේ තරග පැවැත්වීමට නියමිතව ඇත.

Comments

comments

SHARE