අන්තර් සමාජ රග්බි උණුසුම නොවැම්බර් 4 වනදා සිට

239
0
ශ්‍රී ලංකා රග්බි සංගමය  සංවිධාන කරන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ලබන මස 4 වනදා බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී ආරම්භවනවා. ඒ පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයෙන්.

පසුගිය වසරේ ලීග්  ශුරයින් වූ මහනුවර ක්‍රීඩා සමාජය සිය පළමු තරගයට එක්වන්නේ එවර ශුරතා ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවූ සි.එච්.ඇන්ඩ් එෆ්.සී.කණ්ඩායම සමගින්. එමෙන්ම පසුගිය වසරේ අනු ශුරතාව දිනාගත් හැව්ලොක් කණ්ඩායම සිය පළමු තරගයේදී ගුවන් හමුදා කණ්ඩායම සමගින් තරග වදිනු ඇති.

සී.ආර්.ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම යුද හමුදා කණ්ඩායම සමගින් තරග වදිමින් තරගාවලියට පිවිසෙනවා.

මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තරග දෙසැම්බර් 18 වනදායින්  අවසන් කොට සති දෙකක විවේකයකින් පසු ලබන වසරේ ජනවාරි 6වනදා දෙවන වටයේ තරග ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අවසන් තරගය පවත්වන්නට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කර ඇත්තේ ලබන වසරේ මාර්තු 11 වනදායි.

පසුගිය වසරේ මෙන්ම මෙවරත් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් එක්කර ගන්නට ශ්‍රී ලංකා රග්බි සංගමය  අවසර ලබාදී නැහැ.

කෙසේ වුවත් මහනුවර ක්‍රීඩා සමාජය පෙර වසරේ මෙන්ම මෙවරත් ශුරතා කුසලානය සදහා ඇස ගසාගෙන සිටින්නේ වෙනත් ක්‍රීඩා සමාජ වල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සිය ක්‍රීඩා සමාජයට එක කර ගනිමින්. ඒ අනුව හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කල ධනුෂ්ක රන්ජන් හා ශනුක දිසානායක සි.ආර්.පිල නියෝජනය කල කාංචන රාමනායක සහ ජේසන් දිසානායකද මෙවර මහනුවර පිල නියෝජනය කරනවා.

දුෂ්මන්ත ප්‍රියදර්ශනගේ නායකත්වයෙන් තරග වදින පසුගිය වසරේ අනුශුරයින් වූ හැව්ලොක් කණ්ඩායමද මෙවර තරගාවලියේ ප්‍රභලතම කණ්ඩායමක් ලෙස හැදින්විය හැකියි.

පසුගිය වසරේ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් වාර්තා කල ප්‍රසාත් මදුසංක ,ශාරෝ ප්‍රනාන්දු,නිරෝෂන් ප්‍රනාන්දු,චාමර දාබරේ,නිරෝෂන් පෙරේරා සහ කෙවින් ඩික්සන් යන ප්‍රභල ක්‍රීඩකයින් මෙවර හැව්ලොක් කණ්ඩායම සවිමත් කරනවා.

ෂේන් සමන්තපෙරුම නායකත්වය දරන සී.ආර්.පිලට නාවික හමුදාවේ ඔමල්ක ගුණරත්න හා පොලිස් කණ්ඩායමේ රීෂා මුබාරක්ද එක්ව සිටිනවා.

පසුගිය වසරේ ලීග් තරගාවලියේ සිව්වන ස්ථානය දිනාගත් නාවික හමුදාව මෙවර තරග වදින්නේ මොතිලාල් ජයතිලකගේ නායකත්වයෙනි.

දිනුෂ චතුරංග,ගර්තා පෙරේරා,චානක චන්දිමාල්,තිලිණ වීරසිංහ සහ තිවංක ප්‍රසාද් නාවික හමුදා කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයින් ලෙස හදුන්වා දිය හැකියි.

පොලිස් කණ්ඩායම තරග වදින්නේ සුදත් සම්පත්ගේ නායකත්වය යටතේයි. මුෂින් ෆලීල් ,අචල පෙරේරා,රදිෂ සෙනෙවිරත්න පොලිස් කණ්ඩායමට ඇතුලත් නම් දැරූ ක්‍රීඩකයින් වනවා.

කෙසේ නමුත් මෙවරත් සී.එච්. ,ගුවන් හමුදාව සහ හමුදාව යන කණ්ඩායම් වලින් පෙරලි අපේක්ෂා කල නොහැකි බවයි විචාරක මතය වී ඇත්තේ.

Comments

comments

SHARE