ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පලමු ටෙස්ට් ගැටුම අදින් ඇරඹේ

450
0
Zimbabwe cricketer Chris Mpofu (R) unsuccessfully appeals for a Leg Before Wicket (LBW) decision against Sri Lankan batsman Upul Tharanga (C) during the Cricket World Cup Group A match between Sri Lanka and Zimbabwe at The Pallekele International Cricket Stadium in Pallekele on March 10, 2011. AFP PHOTO/Lakruwan WANNIARACHCHI

අලුත් මුහුණු පිරිවරා සිටින ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්‌ඩායම් වසර 12 කට පසුව අද හරාරේ නුවරදී ටෙස්‌ට්‌ තරගයකට සහභාගි වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.00 ට පමණ ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ 14 වැනි ටෙස්‌ට්‌ නායකයා ලෙස රංගන හේරත් අද කාසියේ වාසිය උරගා බලමින් සිම්බාබ්වේ සමග පැවැත්වෙන හත්වැනි ටෙස්‌ට්‌ තරගාවලිය ආරම්භ කරනු ලබයි. ඇන්ජලෝ මැතිව්ස්‌ගේ සහ දිනේෂ් චන්දිමාල්ගේ ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ නායකත්වයේ ඔටුන්න රංගන හේරත්ගේ හිස මත පැළඳවීමට තේරීම් කමිටුව තීරණය කළේ වත්මන් කණ්‌ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා හේරත් බැවිනි.

“කොහොමත් මගේ උපරිමය මම දෙනවා. කණ්‌ඩායමේ නවකයන් ගොඩ දෙනෙක්‌ ඉන්නෙ. නමුත් ඔවුන් දේශීය තරග ගොඩක්‌ සෙල්ලම් කරල අත්දැකීම් තියෙන අය. අපි කොහොම හරි උපරිමය කරනවා.” යෑයි හේරත් ටෙස්‌ට්‌ තරගාවලියේ නායකත්වය ලැබීමෙන් පසුව “srilankasports.lk” කළ විමසීමකදී පැවසීය.

අර්ජුන රණතුංග, සනත් ජයසූරිය සහ මාවන් අතපත්තුට පසුව සිම්බාබ්වේට එරෙහිව ටෙස්‌ට්‌ තරගයකට නායකත්වය දෙන තුන්වැන්නා වන්නේද රංගන හේරත් වේ. මෙම ටෙස්‌ට්‌ තරගය රංගන හේරත්ගේ 74 වැනි ටෙස්‌ට්‌ තරගය වන අතර ඔහුගේ ටෙස්‌ට්‌ තරග අත්දැකීම කණ්‌ඩායම් දෙකේ වෙනත් කිසිදු ක්‍රීඩකයකුට නොමැත. කෙසේ වෙතත් මේ වන විට ටෙස්‌ට්‌ කඩුලු 332 ක්‌ ලබා සිටින හේරත්ට ටෙස්‌ට්‌ කඩුලු 350 දවා ගැනීමට තවත් ඇත්තේ කඩුලු දෙකක්‌ පමණි. මෙම ටෙස්‌ට්‌ තරග දෙකේදී සිම්බාබ්වේ පිතිකරුවන් හතළිස්‌ දෙනකු දවා ගැනීමේ අවස්‌ථාව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඇති බැවින් රංගන හේරත් එම කඩඉමට බොහෝ විට ළංවනු ඇතැයි අපේක්‍ෂා කළ හැක.

2004 වසරේදී මාවන් අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ සමග තරග කිරීමෙන් පසු ටෙස්‌ට්‌ තරගයකට සහභාගි වන්නේ වසර 12 කට පසුව වේ. එම කාල සීමාව තුළදී සිම්බාබ්වේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ ශ්‍රේණියේ පහළම ස්‌ථානයට වැටී තිබෙන අතර ඔවුන්ට මේ වන විට ඇති ටෙස්‌ට්‌ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8 කි. ප්‍රසාද ලකුණු 96 ක්‌ ලබා සිටින ශ්‍රී ලංකාව එහි හය වැනි ස්‌ථානයේ පසුවේ.

අද තරගය නවකයන්ගේ ගැටුමක්‌ බට පත්වෙද්දී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ඉතිහාසයේ මුණ ගැසුන ටෙස්‌ට්‌ තරග 15 කදී දහ වරක්‌ ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ. ඉතිරි තරග පහම විසඳුමකින් තොරව නිමාවට පත්විය. 1994 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල සහ ග්‍රැහැම් ෆ්ලවර්ගේ නායකත්වයෙන් යුත් සිම්බාබ්වේ පිල අතර පළමු ටෙස්‌ට්‌ තරගාවලිය පැවැති අතර එම තරගාවලියේ ටෙස්‌ට්‌ තරග තුනම විසඳුමකින් තොරව නිමාවට පත්විය. අනතුරුව 1996 (2-0), 1998 (2-0), 1999 (1-0), 2001/02 (3-0) සහ 2004 (2-0) තරගාවලි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සිටින අසේල ගුණරත්න, ළහිරු කුමාර සහ කසුන් මධුෂංක යන තිදෙනාගෙන් එක්‌ අයකු හෝ දෙදෙනකු අද ටෙස්‌ට්‌ වරම් ලැබීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් කණ්‌ඩායමේ අත්දැකීම් සහ සමබරතාවය වෙනුවෙන් අංක හතර පිතිකරු ලෙස නිරෝෂන් දික්‌වැල්ල ක්‍රීඩා කිරීමට නියමිතය.

දික්‌වැල්ල ශ්‍රී ලංකා “ඒ” පිල වෙනුවෙන්ද සාර්ථක වු ක්‍රීඩකයෙකි. ඇන්ජලෝ මැතිව්ස්‌ගේ ස්‌ථානයට උපුල් තරංග ක්‍රීඩා කරවීමේ වැඩි අවස්‌ථාවක්‌ තිබේ. එසේ නොවුණහොත් අසේල ගුණරත්න එම ස්‌ථානයේ ක්‍රීඩා කරනු ඇත. නමුත් කණ්‌ඩායමේ අත්දැකීම් බෙදා ගැනීම වෙනුවෙන් උපුල් තරංගට කණ්‌ඩායමේ ස්‌ථානය හිමිවීමේ අවස්‌ථාවක්‌ තිබේ. වේග පන්දු යවන්නන් ලෙස ළහිරු කුමාර බොහෝ දුරට ක්‍රීඩා කිරීමට නියමිත අතර දඟ පන්දු යවන්නන් ලෙස රංගන හේරත් සමග ඩිල්රුවන් හෝ ලක්‍ෂාන් සඳකැන් දෙදෙනාගෙන් එක්‌ අයකුට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාවක්‌ තිබේ.

සිම්බාබ්වේ ටෙස්‌ට්‌ නායක ග්‍රේඒම් ක්‍රීමර්ද ක්‍රීඩා කර ඇත්තේ ටෙස්‌ට්‌ තරග 12 ක්‌ පමණි. නමුත් ඔහු ටෙස්‌ට්‌ වරම් ලබා ඇත්තේ 2005 වසරේදීය. ක්‍රීමර් නායකත්වය දරන තුන්වැනි ටෙස්‌ට්‌ තරගාවලියද මෙය වේ. සිම්බාබ්වේ කණ්‌ඩායමට තවත් නවක ක්‍රීඩකයන් දෙදෙනකු මෙවර තරගාවලියේදී ඇතුළත් කර තිබේ. කාල් මුබ්බා සහ තරියාදි මුස්‌කන්දා සිම්බාබ්වේ “ඒ” පිල වෙනුවෙන් දැක්‌වූ දක්‍ෂතා මත ජාතික කණ්‌ඩායමට කැඳවා තිබේ.

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන්නේ මාවන් අතපත්තුය. ඔහු සිම්බාබ්වේට එරෙහිව ටෙස්‌ට්‌ තරග 10 කදී ලකුණු 1143 ක්‌ ලබා ඇති අතර ඊට ශතක 5 ක්‌ සහ අර්ධ ශතක දෙකක්‌ ඇතුළත්වේ. එහිදී ඉනිමක සාමාන්‍ය 95.41 ක්‌ වැනි ඉහළ අගයක්‌ පවත්වා ගැනීමට මාවන් සමත්ව තිබේ. සුපුරුදු පරිදි සිම්බාබ්වේට එරෙහිව වැඩිම ටෙස්‌ට්‌ කඩුලු සංඛ්‍යාවක්‌ දඩයම් කිරීමට මුත්තයියා මුරලිදරන් සමත්ව තිබේ. ඒ තරග 14 කදී ටෙස්‌ට්‌ කඩුලු 87 ක්‌ වශයෙනි.

ශ්‍රී ලංකා කණ්‌ඩායම

දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්‌, නිරෝෂන් දික්‌වැල්ල, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත් (නායක), සුරංග ලක්‌මාල්, ළහිරු කුමාර, කසුන් මධුෂංක, අසේල ගුණරත්න සහ ලක්‍ෂාන් සඳකැන්

සිම්බාබ්වේ කණ්‌ඩායම

ග්‍රේඒම් ක්‍රීමර් (නායක), ටීනෝ මවෝයෝ, ගැවිල්ටන් මස්‌කට්‌සා, ක්‍රෙග් අර්වින්, ෂෝන් විලියම්ස්‌, රෙගීස්‌ චකබ්වා, පීටර් මුවර්, ඩොනල්ඩ් ටිරිපානෝ, ක්‍රිස්‌ ටෝෆර්මෝෆු, තවුරායි මුසරබානි, මයිකල් මිනෝයා, බ්‍රයන් මාරි, සිකන්දර් රායා, මැල්කර් වොලර්, කාල් බුම්බා, තරියාද මුසකන්දා

Comments

comments

SHARE