හතුරුගේ බංගලියෝ ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි

22994
0

බංග්ලාදේශයේ මීර්පූර්හි ශරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 108 ක ජයක් අත්කරගත් බංග්ලාදේශ කණ්ඩායම තරග 2 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 273 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ලකුණු 164 කට සීමා කිරීමට මෙහෙදි හසන් සහ සකීබ් අල් හසන් සමත් වූහ.

විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ මෙහෙදි හසන් ලකුණු 77 කට කඩුලු 6 ක් දවාගනිමින් එංගලන්ත දෙවැනි ඉනිමද සුණුවිසුණු කරදැමූවේය.

පළමු ඉනිමේදී දවාගත් කඩුලු 6 ත් සමගින් මෙම තරගයේ ඉනිම් දෙකේදීම ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 12 කි. ඔහුගේ එම දස්කම් හේතුවෙන් තරගයේ වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.

බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑම සඳහා මෙහෙදි හසන්ට අනගි සහයක් දුන් සකීබ් අල් හසන් ලකුණු 49 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
එංගලන්ත දෙවැනි ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක ඇලිස්ටෙයාර් කුක් (59) සහ බෙන් ඩුකෙට් (56) සමත් වූවද ඩුකෙට්ගේ දැවීයාමෙන් අනතුරුව ඉතිරි කඩුලු 9 ම ලකුණු 64 ක් තුළ බිඳවැටීම නිසා එංගලන්ත කණ්ඩායමට බලාපොරොත්තු නොවූ පරාජයකට මුහුණදීමට සිදුවිය.
පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවීයාම එංගලන්ත කණ්ඩායමට විශාල පාඩුවක් විය.

ඇලිස්ටෙයාර් කුක්ගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර බෙන් ඩුකෙට් අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.
තෙවැනි දිනය වූ ඊයේ තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 153 ක් ලබා සිටි අතර අද දිනයේදී එය ලකුණු 296 ක් දක්වා ඉහළ දමාගැනීමට ඔවුහු සමත් වූහ.
එහිදී බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඉම්රුල් කේයස් ලකුණු 78 ක් රැස්කළ අතර මොයින් අලීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් වී තිබිණ.
සකීබ් අල් හසන් ලකුණු 41 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි.
අඩිල් රෂීඞ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියේය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ අඩිල් රෂීඞ්, සකීබ් අල් හසන්ගේ කඩුල්ලත් සමගින් ලකුණු 52 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර බෙන් ස්ටොක්ස් ලකුණු 52 කට කඩුලු 3 ක් දවාගත්තේය.

බංග්ලාදේශය එංගලන්ත කන්ඩායමක් ටෙස්ට් තරගයකදී පරාජයකල පලමු වතාව මෙයයි.
ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ චන්දික හතුරුසිංහ වත්මන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

බංග්ලාදේශය පළමු ඉනිම – සියලු දෙනා දැවී 220
(ටමීම් ඉක්බාල් 104, මොමිනුල් හක් 66, මුයින් අලී 57/5, ක්‍රිස් වොක්ස් 30/3, බෙන් ස්ටොක්ස් 13/2)

එංගලන්තය පළමු ඉනිම – සියලු දෙනා දැවී 244
(ජෝ රූට් 56, ජොනී බෙයාස්ට්‍රෝ 24, ක්‍රිස් වොක්ස් 46, ආදිල් රෂීඞ් නොදැවී 44, මෙහෙදි හසන් 82/6, තයිජුල් ඉස්ලාම් 65/3)

බංග්ලාදේශය දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 220
(ටමීම් ඉක්බාල් 40, ඉම්රුල් කේයස් 78, මහමදුල්ලා 47, සකීබ් අල් හසන් 41, සබීර් රෙහෙමාන් 15, ශූවගත හොම් නොදැවී 25, ආදිල් රෂීඞ් 52/4, බෙන් ස්ටොක්ස් 52/3, සෆාර් අන්සාරි 76/2)

එංගලන්තය දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 164
(ඇලිස්ටෙයාර් කුක් 59, බෙන් ඩුකෙට් 56, මෙහෙදි හසන් 77/6, සකීබ් අල් හසන් 49/4)

Comments

comments

SHARE