කොදෙව් “ඒ” ශ්‍රී ලංකාව වනසයි

13089
0

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්ති තෙවැනි සහ අවසන් එක්දින තරගයත් ඩක්වත් ලුවිස් න්‍යාය අනූව ලකුණු අටකින් ජයගත් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම තරගාවලියද 3-0 ක් ලෙස ජයගැනීමට සමත්වූහ.

ලකුණු 306ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 38 ක් අවසානයේදී කඩුලු හතක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 248 ක් පමණී.

තරගය නතර කරනවිට ජයග්‍රහණය සදහා ඩක්වත් ලුවිස් න්‍යාය අනූව ඕවර 38 කදී ලකුණු 257 ක් ලබාගැනීමට අවශ්‍යවුවද ඒ වනවිට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලබාසිටියේ ලකුණු 248 ක් බැවින් තරගයේ ජය බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමට හිමිවිය.

ධණුෂ්ක ගුණතිලක ලකුණු 58 ක් ලබාසිටියදී ජේසන් මොහොමඞ්ගේ පන්දුවකට ස්ටම්ප්ස් කිරීමකට හසුකර ගැනීමට චැඞ්වික් වෝල්ටන් සමත්වූයේය.

මිලින්ද සිරිවරුධන (35), දසුන් ශානක (නොදැවී 33) සහ සචිත් පතිරණ (34) වේගයෙන් පන්දුවට පහර දෙමින් ජයග්‍රහණය සොයා ගියද අයහපත් අලෝක තත්වය හේතුවෙන් තරගයේ ජය ගිලිහී ගියහ.

පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම ඕවර 47 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 305 ක් රැස්කිරීමට සමත්විය.

තරගය අතරතුර වර්ෂාව ඇදහැළීම හේතුවෙන් සුළු කාළයකට නැවත්වීමට සිදුවූ අතර බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම ඕවර 11.1 දී කඩුලු දෙකක් දැවී ලකුණු 48 ක් රැස්කර සිටියේය.

තරගය ඉක්මනින් ආරම්භ වුවද එක් පිලකින් ඕවර තුනක් අඩුකිරීමට සිදුවීමෙන් තරගය ඕවර 47 කට සීමාවිය.

ලකුණු 59 කට කඩුලු තුනක් බිදවැටී තිබූ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ ඉනිම යළි ගොඩනගමින් සිව්වැනි කඩුල්ල සදහා පන්දු 140 කදී ලකුණු 163 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ජේසන් මොහොමඞ් සහ ඇන්ඩි්‍ර මැකාති සමත්වූහ.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ ඇන්ඩි්‍ර මැකාති පන්දු 75 කට මුහුණදෙමින් හතරේ පහර 13 ක් සහ හයේ පහර තුනක් සමගින් අගනා ලකුණු 102 ක් රැස්කිරීමට සමත්විය. නුවන් කුළසේකර එවු පන්දුවකට දසුන් ශානක අතට උඩපන්දුවක් ලබාදෙමින් ඇන්ඩි්‍ර මැකාති දැවී ගියේය.

ඇන්ඩි්‍ර මැකාතිට අගනා සහයක් දෙමින් සෙමින් ගමනක නිරතවූ නායක ජේසන් මොහොමඞ් නොදැවී ලකුණු 105 ක් රැස්කිරීමට සමත්වූයේය. පන්දු 108 කට මුහුණදුන් ජේසන් මොහොමඞ්ගේ ඉනිමට හතරේ පහර අටක් සහ හයේ පහර තුනක් ඇතුළත්විය.

කලකට පසුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමත් සමගින් එක්වූ නුවන් කුළසේකර දරුණු ප්‍රහාරයකට ලක්වූ අතර ඕවර නවයක් යවමින් එක් නිළකුණු ඕවරයක් සමගින් ලකුණු 65 කට කඩුලු දෙකක් දවා ගත්තේය.

Comments

comments

SHARE