සිම්බාබ්වේ පිතිකරුවෝ සටනක් දෙති

447
0

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 05 ක් ලබා සිටියේය.

අද දිනය අවසන් වීමට ඕවර 5 ක් තිබියදී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 373 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත් වූ බැවින් ඕවර 3 ක් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට සිදුවූහ.

කෙසේ වුවත් එම ඕවර 3 දී සිය කඩුලු ආරක්ෂා කරගැනීමට දිමුත් කරුණාරත්න (01) සහ කෞෂාල් සිල්වා (03) සමත් වූහ.

මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී මැද පෙළ පිතිකරුවන් සමග එක්ව සිම්බාබ්වේ ඉනිම ගොඩනැගූ නායක ග්‍රේම් කීමර් අද දිනයේදී සිට මංගල ටෙස්ට් ශතකට වාර්තා කළේය.

පැය 4 1/2 ක් පමණ කඩුල්ලේ රැදී සිටි කීමර් සිය ඉනිම හතරේ පහර 10 කින් සැරසීය.

ඩොනල්ඞ් තිරිපානෝ (46) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ග්‍රේම් කීමර්, පිට පිටම දෙවැනි වරටත් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවට පහරදීමට තිබූ ඉඩකඩ අහුරා දැමුවේය.

තේ පානයෙන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායමේ 8 වැනි කඩුල්ල ලෙස අර්ධ ශතකය පෙනෙන මානයේ සිටි ඩොනල්ඞ් තිරිපානෝ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට අමතර පන්දුයවනෙක් ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් සමත් විය.

රංගන හේරත් යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් කාල් මුම්බා එක ලකුණකට දැවීගිය අතර සුරංග ලක්මාල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ක්‍රිස් මොෆූ ලකුණු 2 කට දැවී ගියේය.

දිවා ආහාරයෙන් අනතුරුව තේ පානය සඳහා තරගය නතර කරන තෙක්ම ශ්‍රී ලංකා කණ්ඩායමට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

එහිදී තවත් ලකුණු 117 ක් රැස්කිරීමට සිම්බාබ්වේ පන්දුයවන්නෝ සමත් වූහ.
කඩුලු රකින ක්‍රීඩක පීටර් මූර් (79), නායක ග්‍රේම් ක්‍රීමර් සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 132 ක සම්බන්ධතාවක් ගොඩගමින් සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ඩිල්රුවන් පෙරේරා අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පීටර් මුවර්ගේ වේගවත් අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය. එය ළහිරු කුමාරගේ මංගල ටෙස්ට් කඩුල්ල විය.

තෙවැනි දිනය සඳහා තරගය ආරම්භ කරන විට කඩුල්ලක් දැවී ලකුණු 88 ක් ලබා සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ දෙවැනි සහ තෙවැනි කඩුලු මුලු ලකුණු සංඛ්‍යාව 92 ක් වන විට බිඳවැටිණ.

එහිදී ටිනොතෙන්ඩ මාවෝයෝ ලකුණු 45 කටත්, හැමිල්ටන් මසකඞ්සා ලකුණු 33 කටත් දවාගත් සුරංග ලක්මාල් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

අසේල ගුණරත්න අතට උඩපන්දුවක් දෙමින් මාවෝයෝ දැවී ගිය අතර මසකඞ්සා දැවී ගියේ දිමුත් කරුණාරත්න අතට උඩපන්දුවක් දෙමිනි. දැවී යන විට ඔවුන් දෙදෙනාම 4 පහර 6 බැගින් ලබා සිටියහ.

සිම්බාබ්වේ කණ්ඩායමට තවත් ලකුණු 19 ක් එක්වන විට රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ අසේල ගුණරත්න අතට උඩපන්දුවක් දෙමින් සිව්වැනි කඩුල්ල ලෙස ෂෝන් විලියම්ස් ලකුණු 10 කට දැවී ගියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 134 ක් වන විට ලකුණු 12 ක් ලබා සිටි ක්‍රෙග් අර්වින්ද, එතැන් සිට තවත් ලකුණු 5 ක් ඇතුළත ලකුණු 22 ක් ලබාසිටි මැල්කම් වෝලර්ද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඩිල්රුවන් පෙරේරා සමත් විය.

Comments

comments

SHARE