ඔලිම්පික් නිලවරණය ජනවාරියට පෙර – දයාසිරි ජයසේකර

76
0

සංශෝධනය කරන ලද නව ක්‍රීඩා නීති සහ රෙගුලාසි වලට අනුකූලව ලබන ජනවාරි මස ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ඔලිම්පික්‌ කමිටු නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා srilankasports.lk වෙත පැවසීය.

1973 දී සම්මත කර ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රීඩා නීති සහ රෙගුලාසි සංශෝධනය නොකිරීම හේතුවෙන් වසර විස්‌සක්‌ පුරා එකම නිලධාරීන් පිරිසක්‌ ශ්‍රී ලංකා ඔලිම්පික්‌ කමිටුවේ සිටින බැවින් ඉදිරියේදී නිලවරණයකින් තරග කිරීමට එමගින් අවස්‌ථාව උදාවන බව ක්‍රීඩා ඇමැතිවරයා පවසයි.

සංශෝධිත නව ක්‍රීඩා පනතේ නීති සහ රෙගුලාසි වලට ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව අනුමැතිය ලබාදුන් බවත් එය ගැසට්‌ කිරීමට යවා ඇති බවත් පැවසූ ක්‍රීඩා ඇමැතිවරයා මාසයක්‌ ඇතුළත ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩා සංගම්වලට අදාළ නව නීති සහ රෙගුලාසි ඇතුළත් කර ගැනීමට අවස්‌ථාව ලබා දෙන බවද සඳහන් කළේය.

unnamed“ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුවේ කිසිම ගැටලුවක්‌ නැහැ. ක්‍රීඩා ඇමැතිවරුන් හතර දෙනකුට කරන්න බැරි වුණ දෙයක්‌ මම අවසන් කළා. ශ්‍රී ලංකා ඔලිම්පික්‌ කමිටුවත් මේ සඳහා අකමැත්තක්‌ නැහැ. ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව අකමැති වුණේ සිව් අවුරුදු නීතියට විතරයි. ඒ නීතිය අපි ඉවත් කළා. ඒ නිසා ඉදිරියේදී සියලුම සංගම්වල ව්‍යවස්‌ථාවට මේ නව නීති රීති ඇතුළත් කර ගැනීමට අවස්‌ථාව ලබාදෙනවා. ඊට පසුව මාසයක්‌ ඇතුළතට ඔලිම්පික්‌ නිලවරණය පවත්වන්න කටයුතු කරනවා. බොහෝ විට ජනවාරියට පෙර ඔලිම්පික්‌ නිලවරණය පවත්වන්න හැකි වේවි.” යෑයි ඇමැතිවරයා විශ්වාසය පළ කර සිටියි.

දේශපාලනඥයන් ක්‍රීඩා සංගම්වල නිලතල වලට ඉදිරිපත් වන්නේ නම් ඔවුන් එම ක්‍රීඩාව දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් හෝ කළ යුතු බවට සහතික කිරීම ප්‍රධාන සුදුසුකම බව ඇමැතිවරයා පවසයි. ඒ අනූව මේ සතිය අවසන් වීමට පෙර නව ක්‍රීඩා නීති සහ රෙගුලාසි පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Comments

comments

SHARE