අන්තර් පාසල් ඔරු පැදීමේ ශූරතා රාජකීයයන්ට සහ මියුසියස්ට

75
0

අන්තර් පාසල් ඔරු පැදීමේ පිරිමි ශූරතාව කොළඹ රාජකීය විදුහල දිනාගත් අතර කාන්තා ශූරතාව කොළඹ මියුසියස් විදුහල දිනා ගත්තේය.

පසුගිය වසරේ පිරිමි ශූරතාව කොළඹ ආනන්ද විදුහල දිනා සිටියද රාජකීය ක්‍රීඩක‍යෝ මෙවර අන්තර් පාසල් ඔරු පැදීමේ ශූරතාව දිනා ගැනීම විශේෂත්වයකි. මියුසියස් විදුහල පසුගිය වසරේද කාන්තා ශූරතාවට හිමිකම් කීය.

කොළඹ බේරේ වැවේ දින 3ක් පුරා පැවැති අන්තර් පාසල් ඔරු පැදීමේ ශූරතාවලියට මෙවර පාසල් කණ්ඩායම් 17ක් එක්ව සිටීම කැපී පෙනුණි. ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ආසියානු ඔරු පැදීමේ සම්මේලනයේ සභාපති හා ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවැසුවේ මෙවර පාසල් තරගාවලියට කණ්ඩායම් වැඩිවීම විශාල ප්‍රගතියක් බවය. ඉදිරියේදී පාසල් ඔරු පැදීමේ ක්‍රීඩාව ගම් දනව්වල ප්‍රචලිත කිරීමට තමා විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බවද ප්‍රනාන්දු මහතා පැවැසීය.

මෙවර තරගාවලියට රාජකීය, මියුසියස්, විශාඛා, කොළඹ කාන්තා, ඩී.එස් සේනානායක, බිෂොප්, සිරිමාවෝ බණ්ඩාරනායක, ආනන්ද, නාලන්දා, ආරක්ෂක සේවා, ආසියානු ජාත්‍යන්තර, එළිසබත් මෝයර්, කොටහේන මධ්‍ය ම.වි, සාන්ත ජෝශප්, ගේට්වේ ජාත්‍යන්තර, සාන්ත තෝමස් හා සාන්ත පීතර විදුහල් සහභාගිවී සිටියහ.

14න් පහළ කාන්තා ශූරතාව විශාඛා විදුහල හා පිරිමි ශූරතාව මරදාන සාන්ත ජෝශප් විදුහල දිනා ගත්හ.

16න් පහළ කාන්තා ශූරතාව කොළඹ කාන්තා විදුහල හා පිරිමි ශූරතාව කොළඹ රාජකීයක විදුහල සතු විය.

18න් පහළ කාන්තා ශූරතාව කොළඹ කාන්තා විදුහලත් පිරිමි ශූරතාව කොළඹ ආනන්ද විදුහලත් දිනා ගත්හ.

20න් පහළ කාන්තා ශූරතාව කොළඹ මියුසියස් විදුහල හා පිරිමි ශූරතාව කොළඹ රාජකීය දිනා ගත්හ.

Comments

comments

SHARE