සිව්වන දිනයට වර්ෂාවෙන් බාධා

233
0
file

ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී දිමුත් කරුණාරත්න (110) ලබාගත් අගනා ශතකය නිසා වර්ෂාවට තරගය නතර කරනවිට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 247 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 164 ක වාසියත් සමගින් සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණු 411 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් සමත්වී සිටී.

 වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට අසේල ගුණරත්න නොදැවී ලකුණු 16 ක් සහ ඩිල්රුවන් පෙරේරා නොදැවී ලකුණක් රැස්කරමින් කඩුල්ලේ රැදී සිටිති.

දුර්වල පන්දු තෝරා බේරාගනිමින් සාර්ථක පිතිහරඹයක නිරතවූ ධනංජය ද සිල්වා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් අතර තේ පානයෙන් අනතුරුව ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකිරීමට ගොස් ලකුණු 64 ක් ලබාසිටියදී මැල්කම් වෝලර් අතට උඩපන්දුවක් ලබාදෙමින් කාල් මුම්බාගේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

නොදැවී ලකුණු 59 ක් රැස්කරමින් කඩුල්ලේ රැදී සිටින අතර අසේල ගුණරත්න නොදැවී ලකුණු 10 ක් ලබාගනිමින් නොදැවී අනෙක් අන්තයේ රැදී සිටින්නේය.

ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වැනි ශතකය ලබාගත් දිමුත් කරුණාරත්න තේ පානයට සුළු මොහොතක් තිබියදී පන්දු යැවූ ක්‍රිස් මොෆූ අතටම උඩපන්දුවක් ලබාදෙමින් ලකුණු 110 කට දැවීයනවිට ධනංජය ද සිල්වා සමගින් එක්ව සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 94 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්ව සිටියේය.

2015 ඔක්තෝබර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 186 ක් රැස්කළ දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග 9 කට පසුව ශතකයක් ලබාගත්තේය.

කාල් මුම්බාට තෙවැනි කඩුල්ලත් පූජා කරමින් දිවා ආහාරයෙන් පසුව යැවූ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුල්ලෙන් ඉවතට ඇදීයන පන්දුවකට පහරක් ගැසීමට යාමෙන් උපුල් තරංග දැවී ගියේය.

දිවා ආහාරයට තවත් පන්දු දෙකක් පමණක් ඉතිරිව තිබියදී පා ඉන්න එල්ලයේ පැමිණි පන්දුව ‘ෆ්ලික්’ කිරීමකින් තල්ලු කිරීමට උත්සාහ කළ කුසල් මෙන්ඩිස් ලකුණු 19 ක් ලබාසිටියදී දැවී ගියේය.

කාල් මුම්බාගේ පන්දුවක් හමුවේ මෙන්ඩිස් ගැසූ පහර වැරදී යාමෙන් පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව ඉහළ ගොස් ග්‍රේම් ක්‍රීමර්ගේ දෑත් අතර සැඟවී ගියේය.

දිමුත් කරුණාරත්න සමග එක්ව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 55 ක සම්බන්ධතාවයක් පැවැත්වූ කුසල් ජනිත් පෙරේරා ලකුණු 17 කට දවාගැනීමට මැල්කම් වෝලර් සමත්විය.

පිට ඉන්නට පිටතින් පතිත වූ පන්දුවට ඩ්‍රයිව් පහරක් ගැසීමට උත්සාහ කළ කුසල් පෙරේරාගේ පිත්තේ යාන්තමින් ගැටුණු පන්දුව ස්ලිප් දෙසට ඇදී යද්දී එතැන සිටි හැමිල්ටන් මසකඞ්සා දක්‍ෂ ලෙස උඩපන්දුව රැකගත්තේය.

ඊයේ තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සදහා කිසිවකු නොදැවී ලකුණු පහක් ලබාසිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 17 දී දවාගැනීමට කාල් මුම්බා සමත්විය. මුම්බා එවූ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 7 ක් ලබාසිටි කෞශාල් සිල්වා දැවී ගියේය.

Comments

comments

SHARE