තිරිමාන්නට විවේකය අවශ්‍යයි – අවිශ්ක ගුණවර්ධන

5264
0

පිතිකරුවකු ලෙස පැන නැගී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් විසඳා ගනිමින් යළිත් දක්‌ෂතා අතරට පැමිණීමට නම් ළහිරු තිරිමාන්නට විවේකය අත්‍යවශ්‍යම කරුණක්‌ බවට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන සඳහන් කර සිටියි.

කලක්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ උප නායකත්වය පවා හොබවන ලද තිරිමාන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි/20 තෙවැදෑරුම් අංශයම නියෝජනය කළද මෑත කාලයේදී පිතිකරුවකු ලෙස අසීමිත අන්දමින් අසාර්ථක්‌තවයක්‌ පෙන්නුම් කිරීම මත මේ වන විට ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව තිබේ.

ඒ අනුව ඔහුව ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායමේ තරග සඳහා යොදවා තිබෙන නමුත් එම තරගවලදීද ලකුණු අතරට පැමිණීමට තිරිමාන්න අපොහොසත් විය. ඉකුත්දා අවසන් වුණු බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැති සිව්දින තරග 3 ටම තිරිමාන්න ක්‍රීඩා කරන ලැබුවද ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 9.83 ක ඉතා අඩු අගයක්‌ සටහන් විය.

සමහර විට සෑම ක්‍රීඩකයකුටම නරක කාල පැමිණෙනවායි පවසන ගුණවර්ධන, එයට හොඳම විසඳුම වන්නේ සති කීපයක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමයි. එහෙම වුණොත් තමන් කරන වැරදි දේවල් විවේක ගන්නා කාලය තුළදී අමතක වෙලා යන්න පුලුවන්. එහෙම වුණොත් ඔබට පුලුවන් මූලික වශයෙන්ම ඔබ කරන වැරදි දේ අමතක කරලා නැවුම්ව යළිත් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න යි සඳහන් කරයි.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතුව විස්‌සයි/20 ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ අවසන් මහ තරගය ක්‍රීඩා කරන ලද 11 දෙනාගෙන් එක්‌ සාමාජිකයකු බවට පත්වූ තිරිමාන්න එම වසරේ ජනවාරි මස මේ දක්‌වා පැවැති ටෙස්‌ට්‌ තරග 16 දී රැස්‌ කිරීමට සමත්වී ඇත්තේ අර්ධ ශතක 2 ක්‌ පමණි. එහි ප්‍රථිඵලයක්‌ ලෙස මෑතකදී ශ්‍රී ලංකාවේ පැවැති ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයෙන් මෙන්ම දැන් පැවැත්වෙන සිම්බාබ්වේ තරග සංචාරයට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව තිරිමාන්නට අහිමිවිය.

තිරිමාන්නගේ දැන් ක්‍රිකට්‌ වලින් මිදිලා මනසට විවේකයක්‌ ගන්න ඕන. ඔහුගේ තාක්‌ෂණයේ කිසිදු වැරැද්දක්‌ නැති තරම්. මෙයට බොහෝ විට තාක්‌ෂණික පැත්තට වඩා මානසික පැත්ත ඉවහල් වෙන්න පුලුවන්. එය ඔබ ඔහුට කතා කරනකොට දැක ගත හැකිවේවියි ගුණවර්ධන වැඩිදුරටත් අවධාරණය කරයි.

2011 වසරේදී ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරන ලද තිරිමාන්නව එවකට හඳුන්වනු ලැබුවේ සංගක්‌කාරගෙන් පසු ශ්‍රී ලංකා පිලේ අංක 03 පිතිකරණ ස්‌ථානය සඳහා වන සුදුසුම ආදේශකයා වන බවයි. සංගක්‌කාර සමුගෙන දැනට වසරකට අධික කාලයක්‌ ගත වී තිබෙන නමුත්, එම ස්‌ථානයේ ක්‍රීඩා කිරීම සඳහා මේ වන විටත් කුසල් මෙන්ඩිස්‌ සිය සුදුසුකම් සපුරාගෙන සිටියි.

මෙහිදී තමන් තුළ වූ විශ්වාසය බිඳී යැම තිරිමාන්නගේ අසාර්ථකත්වයට ප්‍රධාන ලෙසම ඉවහල් වී තිබෙන බව ගුණවර්ධනගේ අදහසයි. සිව්දින තරගාවලියේදී ඔහුට ලැබුණු අවස්‌ථා ගණනාවක්‌ම විශ්වාසය බිඳී යැම මත ඔහුට අහිමි වුණා. ඔහුගේ විශ්වාසනීයත්වයේ මට්‌ටම දැන් ටිකක්‌ පහත බැහැලයි තියෙන්නේ.

තිරිමාන්න කියන්නේ ඉතාම හොඳ ක්‍රීඩකයෙක්‌ සහ ඕනෑම අවස්‌ථාවක විශාල ඉනිමක්‌ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයක්‌. මට දැනෙන විදියට ඔහුට සති කීපයක විවේකයක්‌ ලැබුණොත් මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුලුවන් වේවියි ගුණවර්ධන පවසයි

Comments

comments

SHARE