ලේට්න් කුසලාන බොක්සිං තරගයකදී ක්‍රීඩකයෙක් ප්‍රතිවාදියා සපා කයි

116
0

දෙවැනි ලෝක සංග්‍රාමය සමයේ ඉන්දියන් සාගරයේ තිබූ මිත්‍ර පාක්ෂික ඒකාබද්ධ නාවික හමුදාවේ (Allied Naval Fleet) ප්‍රධාන අණ දෙන නිලධාරියා වූයේ අද්මිරාල් ජෙ‍ෆ්රි ලේටන්ය. (Admiral Geoffry Layton) ලංකා ආධුනික බොක්ෂිං සංගමය විසින් එතුමාගේ නමින් ශූරතා බොක්සිං තරඟයක් 1942 වසරේ සිට අරඹන ලදී. එහි පරමාර්ථය වූයේ මෙරට බොක්සිං තරඟකරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය දියුණු කිරීමය. එහි දී දක්ෂතම ක්‍රීඩකයාට පිරිනැමුණු ලේටන් අභියෝගතා කුසලාන තනි රිදියෙන් නිමකරන ලද්දකි.

1970 වර්ෂයේ එය පවත්වන ලද්දේ සැප්තැම්බර් 27 හා 28 යන දෙදින පස්වරුවේය. කොළඹ බම්බලපිටිය දුම්රියපොළ පාරේ පිහිටා තිබූ CRC සමාජශාලා පිටියේදී එය පැවැත්විණි. බොක්සිං කවය සහිත අඩි 3 1/2ක් පමණ උස වේදිකාව සවිකොට තිබුණේ අහසට විවෘතවය. (Open Air) ආසන්න මුහුදෙන් හමන මද පවන නිසා තරඟ පැවැත්වීමට එය කදිම ස්ථානයක් විය.

අවසාන තරඟ පැවැත්වූ සැප්තැම්බර් 28 වන සඳුදා තරඟාවලියේ ප්‍රධාන අමුත්තා වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ නව රජයේ කම්කරු ඇමතිවරයා වූ M.P. ද ඉසෙඩ් (z) සිරිවර්ධන මැතිතුමාය. එදින වැඩසටහනට තරඟ 12ක් ඇතුළත්ව තිබිණ. මුල් තරඟ 2 අර්ධ අවසාන තරඟ විය. ඉතිරි තරඟ 10 අවසාන තරඟ ලෙස පැවැත්විණි. සියලුම තරඟ විනාඩි 3 වට 3කින් සමන්විත වූ අතර වට අතර විවේකය විනාඩියකට වඩා නොවීය. මා විසින් පුහුණු කරන ලද ක්‍රීඩකයෝ ද මගේ සමාජය වූ වැල්ලවත්තේ ඇරතියුසා (Arethusa) සමාජය වෙනුවෙන් තරඟ බිමට එක්වූහ.

10 වැනි තරඟය වූයේ රාත්තල් 140ට අඩු ලයිට් වෙල්ටර් (Light Welter) බර කාණ්ඩයේ තරඟයයි. එහි රතු කොනේ තරඟකරුවා වූයේ කොළඹ වරාය කොමිෂන් සමාජයේ ටි.පී. හලාල්ඩීන්ය. මැලේ ජාතිකයකු වූ ඔහු ඊට පෙර තරඟ කර තිබුණේ මරදානේ සහිරා සමාජයටයි. ඔහු මල්ලවපොර ක්‍රීඩකයකු ද විය. නිල් කොනේ ක්‍රීඩකයා වූයේ බර්ගර් ජාතික බර්නාඩ් ද සිල්වාය. පාසල් සමයේ පටන් දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු වූ ඔහු ඊට පෙර තරඟ කර තිබුණේ දෙහිවල ශාන්ත මේරී සමාජයටයි. මෙවර ඔහු සමාජයකට අනුබද්ධ නොවී (Un-Attached) තරඟ කළේය.

මේ තරඟයේ තීරක ලෙස යොදා තිබුණේ කැප්ටන් ජෝර්ජ් හෙන්රිකස්ය. බර්ගර් ජාතිකයෙකු වූ ඔහු කොළඹ වරායේ ප්‍රධාන නැව් හසුරුවන්නා (Master Attendant) විය. තරඟ විනිශ්චය කිරීම සඳහා ඔහු ඉඳහිට පැමිණියත් වැඩි වගකීමක් ගත යුතු තීරකවරයකු ලෙස කටයුතු කරනු මා ඊට පෙර දැක නොතිබිණි. බොක්සිං සංගමයේ සභාපති එඩ්වර්ඩ් ග්‍රේ මහතා ජූරි සභාවේ සභාපති ලෙසත් නිවේදක ලෙසත් කටයුතු කළේය.

ප්‍රථම වටය ඇරඹිණි. දෙදෙනාගෙන් වඩා උස බර්නාඩ් ඔහුගේ දිග අත්වලින් සෘජු පහරවල් කිහිපයක් හලාල්ඩීන්ගේ මුහුණටත් පපුව ප්‍රදේශයටත් එල්ල කළේය. පහර වැදීම නිසා හලාල්ඩීන්ගේ මුහුණ රතු වී ඇස්වලින් කඳුළු ගලමින් තිබිණ. හලාල්ඩීන් වැර යොදා දුන් පහරවල් ක්ෂණික අඩි මාරුවෙන් බර්නාඩ් පහසුවෙන් වැළැක්වීය. මේ නිසා පහරවල් වැදුණේ හිස් අහසටයි. එයින් ඔහුගේ ශක්තිය වැය වූ අතර ඔහුට ඉවසුම් ද නැතිවීය.

අනතරුව බර්නාඩ් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් හලාල්ඩීන් ඉදිරියට පැන බර්නාඩ්ගේ සිරුර වටා දෑත් යවා බදාගනිමින් ඔහුගේ වම් උරහිස සපාකෑවේය. වේදනාවට පත් බර්නාඩ් ප්‍රතිවාදියාගේ හිස දෙපසට පහරදී ඈතට තල්ලු කළේය. එසේම සපා කැ තැන තීරකට පෙන්වීය.

තරඟයේදී සපාකෑම බලවත් වරදකි. එසේ වූ විට සිදුවන්නේ තීරක විසින් තරඟය මඳකට නතර කොට සපා කෑ අයට අවවාද කිරීමයි. තුවාල සිදුවී ඇත්නම් පැමිණ සිටින වෛද්‍යවරයා කැඳවා තුවාලකරුවා පරීක්ෂා කිරීමට සලස්වා වැරදිකරුවාට විනිශ්චය මණ්ඩලයට පෙනෙන සේ අතින් සංඥා කොට ඔහුව තරඟයෙන් ඉවත් කිරීමයි. එහෙත් මේවා කිසිත් සිදු නොවිණි.

තීරක එය ගණන් නොගෙන Box-On යන විධානය දුන්නේය. එම නිසා තරඟය දිගටම කෙරීගෙන ගියේය. ඊට ස්වල්ප වේලාවකට පසු ප්‍රථම වටය අවසන් වන සීනුව නාද විණි. එවිට තරඟකරුවෝ තමන්ගේ කොන් වලටත් තීරක ඈත ස්වාධීන කෙළවරටත් ගියහ.

දෙවැනි වටය ඇරඹිණ. බර්නාඩ් තරඟ කළේ දැඩි කෝපයෙනි. සපා කෑමට ලක්වීමට අමතරව තීරකගේ නොසැලකිලිමත් භාවය නිසා බර්නාඩ් දිගින් දිගටම ප්‍රතිවාදියාට හොඳින් පහර දුන්නේය. කිසිවක් කරගත නොහැකි වූ හලාල්ඩීන් නැවතත් ඉදිරියට පැන දෙවැනි වතාවටත් බර්නාඩ්ගේ වම් උරහිස තදින් සපාකෑවේය. දත් වලට කැපී ලේ බිඳු මතුවිය. බර්නාඩ් මෙවර සටන නවත්වා ලේ සහිත වම් උරහිස තීරකට පෙන්වීය. එහෙත් තීරක ඒ සඳහා සපා කෑ පුද්ගලයාට එරෙහිව කිසිම පියවරක් නොගෙන Box-On යැයි යළිත් විධාන කළේය.

එවිට බලවත් කේන්තියෙන් සිටි බර්නාඩ්ගේ කොනේ පාමුල සිටි උදව්කරුවෝ (Seconds) දෙදෙනා කවය තුළට පැන හලාල්ඩීන්ට පහර දෙන්නට වූහ. ඒ සමඟම හලාල්ඩීන්ගේ උදව්කරුවෝ දෙදෙනාත් කවය තුළට පැමිණ බර්නාඩ්ගේ උදව්කරුවන්ට පහර දුන්නෝය. මෙය බලා සිටි දෙපැත්තේම මිත්‍රයෝ (Supporters) කවය තුළට පැන ගහගන්නට වූහ. එය එකම ගාලගෝට්ටියක් විය. නොමිලේ ලැබෙන ගුටිබැට (Free-For-All) කවය තුළ සිටි සියලු දෙනාටම එලෙසම නොමිලේ හොඳින් ලැබිණ.

පිටත පුටුවල හිඳගෙන සිටි සමහරුන් එයට දිරි දෙමින් උඩින් පිටු වේදිකාව මතට විසි කළහ. හාන්සි පුටුවකට වී මේ කලබගෑනිය දෙස කම්බුලේ අත තබාගෙන බලා සිටි ඇමතිතුමා වික්ෂිප්ත වීය.

ජූරි සභාවේ සිටි ග්‍රේ මහතා විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙක් විය. එසේම ඔහු 1948 ලන්ඩන් නගරයේ පැවති ඔලිම්පික් බොක්සිං තරඟය සඳහා ලංකාව නියෝජනය කළ අයකුද විය. ඔහු නැගිට මයික්‍රෆෝනයෙන් සියලු දෙනාටම සන්සුන් වන ලෙස කිහිප විටක් කියා සිටියේය. එසේම මෙම තරඟය අවලංගු කරන බවත් ඉතිරි තරඟ තව ටිකකින් පවත්වන බවත් පැවසීය. එවිට පිරිස සන්සුන් වූහ.

ඉන්පසු ක්‍රීඩකයන් දෙදෙනා හා තීරක හැර සෙසු සියලු දෙනාටම කවයෙන් පිටතට යන ලෙස ඉල්ලා සිටියේය. එය එසේ සිදුවිය. උසින් පැමිණි පුටුවක් ‍තීරකගේ කෙස් මද හිසේ වැදී තුවාල වී තිබිණි. ඉන්පසු මයික්‍රෆෝනය රැගෙන වේදිකාවට ගොඩ වූ ඔහු ක්‍රීඩකයන් දෙදෙනාට ග්ලවුස් ගලවන ලෙස පවසා ඔවුන් දෙදෙනා මැදට කැඳවා අතට අත දීමට සැලැස්වීය. සියලු දෙනාම අත්පොලසන් නාද දුන්හ. ක්‍රීඩකයන් හා තීරක වේදිකාවෙන් බැස ගියහ. වේදිකාවේ තිබූ පුටු ඉවත් කරවා වේදිකාව අතුගෑමට සලස්වා විනාඩි 10කට පසු සෙසු තරඟ ආරම්භ කළේය.

සියලු තරඟ නිම වීමෙන් පසු තෑගි බෙදා දුන් ඇමැතිතුමා ඇතිවූ කලබලය දක්ෂ ලෙස සංසිඳුවීම ගැන පසු ඔහුගේ ග්‍රේ මහතාට විශේෂයෙන් ස්තූති කළේය. මෙම තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලේටන් කුසලාන හිමිකර ගත්තේ මරදානේ සහිරා සමාජයේ ටී.එම්.එස්. සැම්ඩොන් ක්‍රීඩකයාය.

Comments

comments

SHARE