ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ගැටුම හෙට

683
0

ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හෙට දවස බාරගැනීමට සිටින පන්දු යවන්නන්ගේත් තරම කල්තබාම මැනගත හැකි ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි ටෙස්ට් තරගය හෙට හරාරේ නුවරදී ආරම්භ වේ.

මෙහිදී වැඩි අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන් වෙතය.

පළමු ටෙස්ට් තරගයේ අවසන් ඕවර කිහිපයේදී ජයග්‍රහණය තමන් වෙත ඇද ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ නමුත් එම තරගයේදී සිම්බාබ්වේ පිතිකරුවන් ලකුණු 373 ක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙන්ම දෙවැනි ඉනිමේදී අවසන් කඩුලු 5 දවාගැනීම සඳහා ඕවර 60 කට ආසන්න සංඛ්‍යාවක් (59.4) යැවීමට සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ඇතැමුන්ගේ සිත්තුළ තිබුණේ තරමක් වික්ෂිප්ත හැඟීමකි.

සිම්බාබ්වේ දෙවැනි ඉනිමේදී දෙවැනි නව පන්දුව ලබාගත් අවස්ථාවේදීත් නව පන්දුව බාරගනු ලැබුවේ වේග පන්දු යවන්නකු නොව නායක රංගන හේරත් විසිනි.

සිම්බාබ්වේ කණ්ඩායම පළමු තරගය ලකුණු 225 කින් පරාජය වූ නමුත් එම තරගයේදී ඔවුන් විසින් දක්වන ලද දස්කම් අනුව දෙවැනි ටෙස්ට් තරගයට සත්කාරකයන් පැමිණෙන්නේ වඩාත් හොඳ ආත්ම විශ්වාසයකිනි.

එදා තරගයේ වීරයා වූ නායක ග්‍රේඒම් ක්‍රීමර්ට දෙවැනි තරගය සඳහා තමන්ගේ ක්‍රීඩකයන් දිරිගන්වන්නට හේතු ඕනෑ තරම් තිබේ.

ප්‍රසාද ලකුණු 8 ක් පමණක් හිමි, ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත ලයිස්තුවේ අඩියටම වැටී සිටින සිම්බාබ්වේ කණ්ඩායමට ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ ප්‍රසාද ලකුණු 95 ක් හිමි ශ්‍රී ලංකාව හා තරග කිරීමේදී කුමක් සිදුවිය හැකිද යන්න පිළිබඳව තිබුණේ පැහැදිළි වැටහීමකි.

එනිසාම දෝ පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තණතීරුවක් සහිත හරාරේ ක්‍රීඩාංගණය ටෙස්ට් තරග දෙක සඳහාම යොදාගත්තේ තරග දෙකේදීම පරාජයෙන් ගැලවීමේ අරමුණ ඇතිවය.

පළමු තරගයේදී පන්දු යවන්නන්ට කිසිද සහයෝගයක් නොතිබූ හරාරේ ක්‍රීඩාංගණයේදී දෙපිලේම පිතිකරුවෝ හිතේ හැටියට ලකුණු රැස්කළහ.

සිම්බාබ්වේ පිල තමන්ගේ ශක්තිය අනුව උපාය මාර්ග වෙනස් කරන නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට එසේ කිරීමේ අවශ්‍යතාවක් හෝ අවකාශයක් නැත.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමුගෙන, ආබාධ හේතුවෙන් නිත්‍ය නායකයා සහ උපනායකයාගේ සේවයත් නොමැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී තිබෙන හොඳම අවස්ථාවේදී උපරිම ප්‍රයෝජන ලබාගත යුතුව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසෙන්නේ එවන් අරමුණු ඇතිවය.
හරාරේ තණතීරුවේ පන්දු යැවීමට සිදුවන ශ්‍රී ලංකා පන්දු යවන්නන් අබිමුව ඇත්තේ අසීරු අභියෝගයකි. එහෙත් එම අභියෝගයට මුහුණ දිය යුතුව තිබේ.

Comments

comments

SHARE