පලමු ටෙස්ට් තරගයේ පාලනය දකුණු අප්‍රිකාවට

601
0
PERTH, AUSTRALIA - NOVEMBER 05: Jean-Paul Duminy of South Africa celebrates with Dean Elgar of South Africa after reaching his century during day three of the First Test match between Australia and South Africa at WACA on November 5, 2016 in Perth, Australia. (Photo by Ryan Pierse - CA/Cricket Australia/Getty Images)

ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන දිනය අවසන් වනවිට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 104 ක් රැස්කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය.

තරගයේ සම්පූර්ණ දින තුනක් ඉතිරිව තිබියදී සංචාරක දකුණු අප්‍රිකානු පිල ඕස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණු 106 ක් ඉදිරියෙන් සිටින්නේ කඩුලු 8 ක් අතැතිවය.

ඩීන් එල්ගාර් නොදැවී ලකුණු 46 ක් සහ ජේ.පී. ඩුමිනි නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් කඩුල්ලේ රැදී සිටියද මෙය කිසි සේත්ම අනාවැනි කිවහැකි තත්ත්වයක් නොවේ.

තරගය පැවැත්වෙන්නේ පර්ත්හි ‘වැකා’ (බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගම්) ක්‍රීඩාංගණයේදී බැවින් ඕනෑම අවස්ථාවකදී ඕනෑම දෙයක් සිදුවිය හැකිය.

කෙසේ වෙතත් මෙහි වඩාත්ම  කණගාටුදායක සිදුවීම වන්නේ දකුණු අප්‍රිකානු පිලේ ඩේල් ස්ටේන් උරහිසේ ආබාධයක් හේතුවෙන් තරගය අතරමැදදී ඉවත් වීමයි.

ඩේල් ස්ටේන්ගේ ආබාධය නිසා ඔහුට ටෙස්ට් තරගාවලියම අහිමි වන  බව වාර්තා වේ.

වසර 2006 න් පසුව හෂීම් අම්ලා විසින් ටෙස්ට් තරගයකදී රැස්කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාව මෙම තරගයේදී වාර්තාවිය.

පළමු ඉනිමේදී ලකුණු නොලඹාම දැවීගිය අතර දෙවැනි ඉනිමේදී රැස්කිරීමට හැකිවූයේ එක් ලකුණක් පමණී.

පලමු දිනය නිමාවනවිට කිසිවකු නොදැවී ලකුණු 105 ක් රැස්කර සිටි ඕස්ටේ්‍රලියාවට ඊයේ දිනයේදී සියලුදෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 244 ක් පමණී. පළමු කඩුල්ල සදහා ලකුණු 158 ක සම්බන්ධතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ලකුණු 86 ක් තුළදී කඩුලු 10 ම දැවීයාම මෙහිදී කැපී පෙනුණී.

ඊයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 96 ක් ලබාසිටි ඩේවිඩ් වෝනර් ඩේල් ස්ටේන්ගේ පන්දුවකට හෂීම් අම්ලා අතට උඩපන්දුවක් දෙමින් දැවී යනවිට පන්දු 100 කට මුහුණදී ලකුණු 97ක් ලබාගෙන සිටි අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 16 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 9 ක් එක්වනවිට දෙවැනි කඩුල්ල ලෙස උස්මාන් කවාජා ලකුණු 4 කට දවාගැනීමට කගීසෝ රබාඩා සමත්වූ අතර මංගල තරගයට ක්‍රීඩාකරන කේශව් මහරාජ් තමන්ගේ මංගල කඩුල්ල ලෙස ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ලකුණු ලබාගැනීමට පෙර ක්‍රීඩාගාරයට යැවීය.

ලකුණු 168 කට කඩුලු 3 ක් දැවී යනවිට සිව්වැනි කඩුල්ල සදහා එක්වූ ඇඩම් වෝග්ස් සමගින් ෂෝන් මාෂ්ට එක් කිරීමට හැකිවූයේ තවත් ලකුණු 13 ක් පමණී.

ෂෝන් මාෂ් ලකුණු 63 ලබා සිටියදී වර්නන් ෆිලැන්ඩර්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීයනවිට පන්දු 148 කට මුහුණදුන් ෂෝන් මාෂ් හතරේ පහර 7 ක් තම ඉනිමට එක්කර ගැනීමට සමත්වූයේය.

ෂෝන් මාෂ් දැවීයාමෙන් පසු පිටියට පිවිසි මිචෙල් මාෂ්වද කඩුල්ල මුවාකිරීමේ වරදට හසු කරගනිමින් ලකුණු ලබාගැනීමට පෙර ක්‍රීඩාගාරයට යැවීමට වර්නන් ෆිලැන්ඩර් සමත්විය.

මිචෙල්  මාෂ් දැවීයනවිට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 181 කට කඩුලු 5 ක් ලෙස දැක්විණි.

පසුපෙළ පිතිකරුවන් කඩාවැටුණු ඉනිම ගොඩනැගීමට උත්සහ කළද දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඊට අවස්ථාවක් ලබානොදුන්හ.

දකුණතින් වේගපන්දු යවන වර්නන් ෆිලැන්ඩර් ලකුණු 56 කට කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත්වූ අතර වමතින් දගපන්දු යවමින් මංගල තරගයේදීම දස්කම් දක්වමින් ලකුණු 56 කට කඩුලු 3 ක් දවාගැනීමට කේශව් මහරාජ් සමත්විය.

දකුණු අප්‍රිකාව – පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 242
(ෆෆ් ඩූ ප්ලේසී 37, ටෙම්බා බවුමා 51, කුයින්ටන් ඩිකොක් 84, මිචෙල් ස්ටාර්ක් 71/4, ජොෂ් හේසල්වූඞ් 70/3, නේතන් ලයන් 38/2)

ඕස්ට්‍රේලියාව- පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 244
(ඩේවිඩ් වෝනර් 97, ෂෝන් මාෂ් 63, ඇඩම් වෝග්ස් 27, පීටර් නෙවිල් 23, වර්නන් ෆිලැන්ඩර් 56/4, කේශව් මහරාජ් 56/3, කගීසෝ රබාඩා 78/2)

දකුණු අප්‍රිකාව – දෙවැනි ඉනිම – කඩුලු 2 ක් දැවී 104
(ඩීන් එල්ගාර් නොදැවී 46, ජේ.පී. ඩුමිනි නොදැවී 34)

Comments

comments

SHARE