සිංහයන් තිගැස්සු ළදරුවා

894
0

තම මව්බිමේ මෙන්ම පිටතදීද ටෙස්ට් පරාජයන් රැසකින් හෙම්බත්ව ක්‍රිකට් පිටියේ හුස්ම ගන්නට ශ්‍රී ලංකා පිල ඉවසමින් සිටි කාල වකවානුව එය විය. මව්බිමේදීම  දකුණු අප්‍රිකාව , පාකිස්ථානය සහ ඉන්දීය කණ්ඩායම් හමුවේ වේදනා රැසක් උරුම කරගත් අපි ඉන්දීය පිටියේදී යළි තරග 3-0 ලෙස ලැජ්ජාසහගත පරාජයක් 1994 දී ලබා ටෙස්ට් පිටියේ පතුල දකිමින් සිටි කාලයද එය විය.

ලොව නවවන ටෙස්ට් රාජ්‍ය ලෙස  සිම්බාබ්වේ බෞස්තීම ලබා ගෙවී ගොස් තිබුනේ යන්තමින් වසර දෙකක් පමණි. මුගාබේ ගේ රටට සිංහයන් චාරිකා කල පළමු වතාව ද  එය විය. තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පැරදුමෙන් තොර වූයේ  විශේෂිත යමකින් තොරවය. දෙවන ටෙස්ට් තරගය වෙනුවෙන් බුලවායෝ නුවර සත්කාරකත්වය ලබද්දී පළමු ඉනිමේ සිම්බාබ්වේ මුල් කඩුලු තුනම ලකුණු 65 ක් තුල දවා ගනිමින් අර්ජුන සැනසුම් සුසුම් එක් කලාට සැක නැත.

කලක් සිම්බාබ්වේ පිළට නායකත්වය දුන් දකුණත් මැදපෙළ පිතිකරු ඩේවිඩ් හවුන්ටන් හිමින් සීරුවට ලකුණු සොයන්නට වෙහෙස උවත් එය ප්‍රතිවාදීන්ට තැකීමක් නොවීය. පළමු ටෙස්ට් තරගයේ අර්ධ ශතකයකින් නැවතුනු ඔහු ශතකය සම්පුර්ණ කළේද වැඩි වෙහෙසකින් තොරවය. 1992 ඉන්දියාවට එරෙහිව තම දේශයේ පළමු ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබා වාර්තා පොත් අතරේ නම ලියවාගත් මේ පිතිකරු ඉන් අනතුරුව ලැබූ පළමු ශතකයද මෙය විය.

පළමු දිනය නිමා වනවිට නොදැවී ලකුණු 116 ක් ලබා සිටි හවුන්ටන් දෙවන දිනයේදීත්  බුලවායෝ පිටියේ හිමින් සීරුවට කදවුරු බදින්නට විය. පරිණත ඉනිමක් දිගහරිමින්   සිටි මේ පිතිකරු මෙල්ල කරන්නට අර්ජුන තම සියලු තුරුම්පු එකින් එක මුදා හරින්නේ තරමක තිගැස්මකිනි. ප්‍රමෝද්‍ය , වාස් , මුරලි , ධර්මසේන මෙන්ම අරවින්ද සහ ගුරුසිංහද එක සීරුවට පන්දු යැව්වත් ඩේවිඩ් හවුන්ටන් තම මනස සොලවා ගත්තේ නැත.ශ්‍රී ලංකා පිළ ඇති  තරමට  වෙහෙස කරමින් හවුන්ටන් දිත්ව ශතකයට ළගා වූයේ පසුපෙළ පිතිකරුවන් සහයට තබා ගනිමිනි. සිම්බාබ්වේ ටෙස්ට් ඉතිහාසයේ පළමු ශතකය මෙන්ම  දිත්ව ශතකය ද තම නම ඉදිරියේ සදාතනික කල මේ 37 හැවරිදි පිතිකරණයේ යෞවනයා ඉන් අනතුරුව පිටියේ දඩබ්බර වන්නට වූයේ සුවිසල් ලකුණු පුවරුවක් ප්‍රතිවාදීන්ට තිලිණ කරන්නටය.

පුරා විනාඩි 675 ක් කඩුල්ලේ රැදෙමින් හතරේ පහර 30 කින් සහ හයේ පහර 3 කින් සවිමත්ව ලකුණු 266 ක් ලබා චමින්ද වාස් ඉදිරියේ කඩුල්ල මුවා කරමින් හවුන්ටන් දැවී යන්නේ  ටෙස්ට් පිතිකරුවකු ලෙස සිම්බාබ්වේ දේශයේ නමට ඉහළම ඉනිම ලෙස  අදටත් සුරක්ෂිත වාර්තාවක් තබමිනි. හවුන්ටන් ගේ ඉනිමෙන් ඇදවැටුණු ශ්‍රී ලංකා මනස කොතරම්ද යත් ශ්‍රී ලංකා  පළමු ඉනිම ලකුණු 218 කට සීමාවිය. පිට පිට දෙවන වතාවටත් අවදානම් ඉනිමක් ඇරබු  ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පිටියේ නැංගුරම් දමන්නේ සංජීව රණතුංගය. පන්දු 352 කට මුහුණ දෙමින් නොදැවී ශතකයක් ලබා සංජීව එක් කල මන්දගාමී ඉනිම නොවන්නට අපි තව දුරටත් ටෙස්ට් පිටියේ පතුලටම කිමිදෙනු ඇත.

තරග දෙකම ජය පැරදුමින් තොරව විසදුනු බැවින් හරාරේ නුවර තුන්වන තරගය දෙපිලටම තීරණාත්මක විය. නමුත් පළමු ඉනිමේ හෂාන් ලැබූ ශතකය සුළගේ පාකල ඩේවිඩ් හවුන්ටන් යළි ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙස කරන්නට විය. තම පිතිකරණ හැකියාව ඉතා හොදින් මුවහත් කරමින් සිටි මේ අලංකාර පිතිකරු පිට පිට දෙවන වතාවටත් ශ්‍රී ලංකාවට එරෙහිව ශතකය සම්පුර්ණ කලේ පාඩම් රැසක් කියා දෙමිනි. තවත් දිගු ඉනිමක් වෙනුවෙන් ඔහු සිත සකසා ගත්තත් යලිත් චමින්ද වාස් ක්‍රියාත්මක වෙමින් ලකුණු 142 කට එම ඉනිම සීමා කළද ඒ වනවිටත් සියල්ල සිදුවී හමාරය.තරගාවලිය ජය පැරදුමෙන් තොර උවත් තම දේශය ටෙස්ට් වරම් දිනා වසර දෙකක් පමණක් බව ලෝකයට අමතක කල ඩේවිඩ් හවුන්ටන් ඒ වනවිට තම ටෙස්ට් දිවියේ දොළොස්වන වසර ගෙවමින් සිටි ශ්‍රී ලංකා පිල වෙත පලකල නපුරුකම සදාකාලික විය.

පිතිකරණයේ සහජ හැකියාවෙන් පොහොසත් මේ හුරුබුහුටි පිතිකරුවා ලෝකයේ අවදානය දිනාගත් පළමු  උච්චතම මොහොත එළැබියේ 1987 ලෝක කුසලනයේදීය. ඉන්දියාවේ හයිද්‍රබාද් නුවර නවසීලන්තයට එරෙහි තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉලක්කය ලකුණු 243 කි. සිම්බාබ්වේ පිලේ කඩුලු 7 ක් ලකුණු 104 ක් තුල බිදගත් මාර්ටින් ක්‍රෝ ප්‍රමුක කිවියන් ඉක්මන් අවසානයක් වෙනුවෙන් සුදානම් උවත් ඩේවිඩ් හවුන්ටන් එයට අකමැති විය. තම පිලේ අංක 9 පිතිකරු පසෙකින් තබා ගනිමින් අනපේක්ෂිත ප්‍රහාරයක් දියත් කල මේ දබබ්බරයා 47 වන ඕවරයේ දැවී යන්නේ ජයග්‍රහණය පෙනෙන මානයට තම පිල කැදවාගනිමිනි.අත්දැකීම් වලට පින්සිදු වන්නට ලකුණු 3 ක  සියුම් ජයක් නවසීලන්තය ලැබුවත්  හයේ පහර හයකින් සහ හතරේ පහර දහතුනකින් සවිමත්ව හවුන්ටන් ලත් ලකුණු 142 කින් හැඩවූ මේ සටන්කාමී ඉනිම ලෝක කුසලාන ඉතිහාසයේ අදටත් සොදුරුම මතකයකි.

පුරා වසර දහයක් කඩුල්ල පිටුපස සිට අත් ආවරණ සමගින් සිටි ඩේවිඩ් හවුන්ටන් පසු කලෙක එම කටයුත්ත ඇන්ඩි ෆ්ලවර් වෙත භාර කර ස්ලිප් සහ ගලී වෙත මාරු වන්නේ සුරක්ෂිත දෑතක උරුමය නිරන්තරව තම පිල වෙත දායාද කරමිනි. ක්‍රිකට් ක්‍රීඩාවේ මතක සැමරුම් රැසක් තම දේශයට ඉතුරු කල මේ තාරකාව තම දේශය දීප්තිමත් කලේ ක්‍රිකට් පිටියේ පමණක් නොවීම විශ්මය ජනකය. විටක තම සහෝදරයාද සමග හොකී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කල මොහු එකල ලොව ප්‍රබල හොකී කණ්ඩායමක් වූ පාකිස්ථාන කණ්ඩායම හමුවේ හොදම ආරක්ෂාකාරී ක්‍රීඩකයා  ලෙස සම්මාන දිනන්නටද සමත් විය.

තමන් උකහාගත් ක්‍රිකට් පිටියේ දැනුම එංගලන්ත ප්‍රාන්ත තරග බිමේ පුහුණුකරුවෙකු ලෙස අදටත් හවුන්ටන් මුදාහරින්නේ ලෝභ කමකින් තොරවය. හිතුවක්කාර පාලකයන් නිසා ක්‍රිකට් පිටියේ සැබෑ දක්ෂයන් සිම්බාබ්වේ දේශයට අහිමි විය. එසේ නොවූවානම් හවුන්ටන් එළිකළ බිම මත  ෆ්ලවර් සොහොයුරන් තැනූ අත්තිවාරමේ මුගාබේ ගේ රටේ ඇත්තන්ට ක්‍රිකට් ලොව ජය මන්දිරයේ  මේ වනවිටත් කිරි උතුරවන්නට හොදටම ඉඩ තිබුණි. නමුත් ඩේවිඩ් හවුන්ටන් විටක ඉවසමින්ද විටක ප්‍රචණ්ඩ වෙමින්ද පෑ පිතිකරණයේ රුවගුණ ක්‍රිකට් ලෝකයේ සදාකාලික වනවාට සැක නැත.

-මංජුල ලන්දේකුඹුර-

Comments

comments

SHARE