අනේ ගැටවුනේ ඔහොම යන්

1187
0

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම අමාරුවෙන් දුවන කරත්තයක්‌ බඳු යෑයි ඇතමුන් පැවසුවේ වත්මන්
ශ්‍රී ලංකා කණ්‌ඩායම නවකයන් බුරුතු පිටින් සිටීම සහ මෑත කාලයේදී පරාජයන්ගේ ගොඩ වැඩිවීම හේතුවෙනි. 1982 ටෙස්‌ට්‌ පටන් ගත් යුගයේදී ශ්‍රී ලංකාව කිසිදිනක නැගිටින කණ්‌ඩායමක්‌ නොවනු ඇතැයි ‘සුද්දන්ගේ’ බලාපොරොත්තු විය. නමුත් පළමු ටෙස්‌ට්‌ තරගයම ජය ගන්නට ශ්‍රී ලංකාවට තිබූ වාසිය නැතිව ගියේ එංගලන්තයේ දඟ පන්දු යවන එම්බියුරි හරස්‌ වීම හේතුවෙනි. මෙවර ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ යද්දී ද පරදිනු අතැයි ඇතමුන් විශ්වාස කළහ.

කයි, කතන්දර කොතෙක්‌ තිබුණ ද රංගන හේරත්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ පිල පරාජය කර දැමුවේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජවය පෙන්වන්නට මේ ජයග්‍රහණය අනිවාර්ය සාධකයක්‌ විය. අනුග්‍රාහක භවතුන් සනසන්නට සහ ගිලිහී යන ක්‍රිකට්‌ උන්මාදය යළිත් උද්දීපනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිල ජයග්‍රහණයේ පිපාසයෙන් සිටින යුගයක ලද ජයග්‍රහණයක්‌ ලෙස මෙය සැලකිය හැකිය. මේ ජයග්‍රහණය බොහෝ වටින්නේ නවකයන් පිරිවරා ගත් ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ ලද ජයග්‍රහණයක්‌ නිසාවෙනි.

සිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ‘අයියලා’ සිටියේ එක්‌ කෙනෙකි. ඒ රංගන හේරත්ය. ඔහු ‘මල්ලිලා’ සතුටු කරමින් ඉබේ හිස මත කඩා වැටුණු නායකත්වයේ ඔටුන්න විජයග්‍රහණයක්‌ බවට පරිවර්තනය කළේය. කොන්ත්‍රාත් අඩු කළ විට ජයග්‍රහණයකින් අඩු වූ මුදල ලබා ගැනීම ද ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට අභියෝගයක්‌ විය. දැන් ඔවුන්ට ‘බෝනස්‌’ ලැබී තිබේ. ඒ ජයග්‍රහණයක්‌ නිසාය.

ඇන්ජලෝ මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, ධම්මික ප්‍රසාද් වැනි ටෙස්‌ට්‌ ක්‍රීඩකයෝ සියල්ල ලෙඩ වී සිටීම ශ්‍රී ලංකා පිලට තවත් හිසරදයක්‌ විය. නමුත් රංගනගේ නඩයට ඇතුළත් වූ කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස්‌ යුගළ අපූරුවට රාජකාරිය ඉටු කළේය. එහිදී කුසල් පෙරේරා පළමු ටෙස්‌ට්‌ ශතකය ලබා ගත්තේ තමාගේ ක්‍රිකට්‌ තහනම ඉවත් කර ගැනීමට ක්‍රිකට්‌ ආයතන කළ මෙහෙවරට තුති පුදන්නාක්‌ මෙනි. යම් හෙයකින් එම ශතකය නොතිබෙන්නට තරගය විසඳුමකින් තොරව නිමා වන්නටත් ඉඩ තිබුණි. උපුල් තරංග ද ස්‌ථානයක්‌ ස්‌ථීර කර ගැනීමේ වෑයමක නිරතව සිටින යුගයක අතට ලැබුණ දේ කටට දමා ගන්නාක්‌ මෙන් ශතකයක්‌ ලබා ගත්තේය.

නවක ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස්‌ අනාගත ආයෝජකයන් ලෙස සලකද්දී ඔවුන් හැකි උපරිමය කණ්‌ඩායමට ලබාදුන්නේය. වෙනදා රංගන හේරත් කඩුලු ගත්තොත් දිනන ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ පිල මෙදා දිනුවේ කඩුලු සමසේ බෙදා ගනිමිනි. එහිදී සිම්බාබ්වේ පළමු ඉනිමේ කඩුලු දහය සුරංග ලක්‌මාල් (3), ළහිරු කුමාර (01), රංගන හේරත් (3), ඩිල්රුවන් පෙරේරා (02) සහ කුසල් මෙන්ඩිස්‌ (01) බෙදා ගත්තේය. දෙවැනි ඉනිමේදී සිම්බාබ්වේ පිල අතරමං කර දැමුවේ සුරංග ලක්‌මාල් (02), රංගන හේරත් (03), ළහිරු කුමාර (02) සහ ඩිල්රුවන් පෙරේරා (03) යන පන්දු යවන්නෝය. ඒ අනුව මේ ජයග්‍රහණය සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්‌ ලෙස හැඳින්විය හැකිය.

සිම්බාබ්වේ පිල දුර්වල බව හැබෑවකි. නමුත් ශ්‍රී ලංකා පිල ඒ තැනට කිසි දිනක වැටී නොමැත. ක්‍රිකට්‌ හඳුන්වාදුන් එංගලන්තය පසුගිය සතියේ ලොව අවසන් වරට ටෙස්‌ට්‌ වරම් ලැබූ බංග්ලාදේශය හමුවේ පරාජයට පත්විය. නමුත් ශ්‍රී ලංකාවට තවම එවැනි පරිච්ඡේදයක්‌ නොමැත. මේ සිටින ගැටවු ටික ජයග්‍රහණයෙන් පෝෂණය විය යුත්තේ එවැනි කටුක පරාජයන්වලට අසුනොවන්නට බව අපගේ හැඟීමයි.

පසුගිය කාලයේ ආදේශකයන් කණ්‌ඩායමට ගෙනාවේ නොගෙන ඉන්නට බැරි කමකටය. එබැවින් හැමදාම කණ්‌ඩායමේ ක්‍රීඩා කරන 11 හෝ 12 හැරෙන්නට අලුත් සඟයෙක්‌ට ස්‌ථීර වන්නට අවස්‌ථාව පැමිණියේ කලාතුරකිනි. හිටපු අයියලා පසුපසට නොගොස්‌ කණ්‌ඩායම ජයග්‍රහණය කිරීම ගැන කතා දෙකක්‌ නොමැත. නමුත් අලුත් පරම්පරාවකට හුරුව ලබාදීමට එදා ක්‍රිකට්‌ තේරීම් කමිටු හෝ ‘අයියලා’ කියාගත් පිරිස කටයුතු කළේ නම් අද ශ්‍රී ලංකා පිලේ තත්ත්වය වෙනස්‌ වන්නට තිබුණි.

ක්‍රිකට්‌ තේරීම් කමිටුව ද නොදැනුවත්ව මේ කාලයේදී වැරදි කරන බව පෙනෙයි. ඔවුන් එක පාරටම නවකයන්ව ජාතික කණ්‌ඩායමට ගෙනත් අත්හරියි. එය හරියට හිතලුවක්‌ විශ්වාස කරන්නාක්‌ මෙන් න්‍යායයක්‌ විය. ළහිරු කුමාර දේශීය පළමු පෙළ තරගය ක්‍රීඩා නොකළ ක්‍රීඩකයෙකි. ඔහු ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමඟ තරග දෙකක්‌ පමණක්‌ ක්‍රීඩාකර ජාතික කණ්‌ඩායමට ඇතුළු වීමට වාසනාවන්ත විය. නමුත් සිම්බාබ්වේට එරෙහිව ඔහුට කඩුලු නොවැටුණේ නම් ළහිරු අතරමං වන්නට ඉඩ තිබුණි. එබැවින් ජාතික කණ්‌ඩායමට නවකයන් ගෙන ආවද ඔවුන්ව හොඳට පදම් කළ යුතුව තිබේ.

සිම්බාබ්වේ සමඟ තවත් ටෙස්‌ට්‌ තරගයක්‌ ඉතිරිව තිබේ. එයද ජය ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විශ්වාසය මෙන්ම මෙරට ක්‍රිකට්‌ ලෝලීන්ගේ විශ්වාසය වී ඇත. නමුත් ජයග්‍රහණය යනු සියලු ප්‍රශ්නවලට විසඳුම බවද සියල්ලෝම තේරුම් ගත යුතුය. එබැවින් සැවොම ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ජය වෙනුවෙන් පෙනී සිටිය යුතු කාලයකි. නවකයන් දැන් වගකීම කරට ගෙන තිබේ. එබැවින් ඔවුන් අල්ලාගත් යෂ්ටිය මාරු කළ යුත්තේ හරි තැනකදීය. එතෙක්‌ කණ්‌ඩායම මේ යන විදිහ හොඳටම හොඳය.

-අසේල විතාන-

Comments

comments

SHARE