ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටය අහිමි වෙයි

98
0

ආසියානු සහයෝගිතා කුසලාන පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් දෙවැනි තරගයේදී මොන්ගෝලියාව හමුවේ ගෝල් 2-0කින් පරාජයවී තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිකර ගත්තේය. කුචීන් සරවක් නේගේරි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මොන්ගෝලියාව සමග තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් සිදුවූ අත පසුවීම් හේතුවෙන් පිරිනැමුණු දඬුවම් පහර දෙකම සාර්ථකවී මොන්ගෝලියාව ජය වාර්තා කිරීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව පළමු තරගයේදී ලාඕසය හමුවේ ගෝල් 2-1කින් පරජයවූ අතර ශ්‍රී ලංකාව සිටින ‘බී’ කාණ්ඩයේ මැකෝවා පිල සහභාගීවූ තරග දෙකම ජයගෙන ඉදිරියෙන්ම සිටී. මොන්ගෝලියාව හා ලාඕසය තරග එක බැගින් ජයගෙන ලකුණු 3බැගින් සටහන් කොට සිටිති. ශ්‍රී ලංකාවට මෙහි මූලික වටයේ තවත් ඉතිරිව ඇත්තේ අපරාජිතව සිටින මැකාවෝ තරගය පමණක් වන අතර එය ජය ගත්තද ඉදිරියට යෑමේ හැකියාව දුර්ලභ අවස්ථාවක් ලෙස නිර්මාණයවී තිබේ.

මොන්ගෝලියාව ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී 202වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාව 193වැනි ස්ථානයේ සිටී. එහෙත් ඊයේ දිනයේ මොන්ගෝලියාව එම පරතරය ගණනකට නොගෙන අධිෂ්ඨානශීලීව ක්‍රීඩා කළ අයුරු දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගෝල් රැස් කිරීමට තිබූ පහසු අවස්ථා 3කින් උපරිම ප්‍රයෝජන ගැනීමට සමත්වූයේ නම් තත්ත්වය මෙයට වඩා තියිණු මුහුණුවරක් ගනු ඇතැයි විචාරක මතයවී තිබේ. ශ්‍රී ලංකා පිලේ කළබලකාරී ක්‍රීඩා විලාශයෙන් ප්‍රතිවාදියාට වාසි හිමිවීම මේ තරගයේ දක්නට ලැබුණු ප්‍රදාන දුර්වලතාවකි.

තරගයේ පළමු භාගයේදී දෙපිලම ගෝල් වාර්තා නොකළ අතර 49වැනි මිනිත්තුවේදී ගෝල් කණුව ඉදිරිපිටදී මොන්ගෝලියානු ක්‍රීඩකයකු එල්ල කළ පහරක් ශ්‍රී ලංකා පිලේ මැද පෙළ ක්‍රීඩක එඩිසන් ෆිගියුරාඩෝගේ අතේ වැදී දඬුවම් පහරක් පිරිනැමුණු අතර 65වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකා ගෝල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරා ඉදිරියට පැමිණෙද්දී මොන්ගෝලියානු ක්‍රීඩකයාට අවහිර කළ බව පවසා තවත් දඬුවම් පහරක් පිරිනැමුණි. එම අනගි අවස්ථා දෙකම ගෝල් බවට පත්කර ගැනීමට මොන්ගෝලියාවේ ඉදිරි ප්‍රහාරක බළ අණියේ නරේන් බෝල්ඩ් නයාම් සමත් විය.

දෙවැනි දඬුවම් පහර පිරිනැමෙද්දී ශ්‍රී ලංකා ගෝල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරා නීති විරෝධී බවට ප්‍රකාශ කළ තරග විනිසුරු කහ කාඩ්පත් අවවාදයක්ද නිකුත් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරගයේ ක්‍රීඩා කළ මධුෂාන් සිල්වා හා රොෂාන් සුනිල් වෙනුවට සර්වාන් ජොහාර් හා සුභාෂ් මධුෂාන් කැඳවා තිබුණි. මොන්ගෝලියාව ගෝල් දෙක රැස් කළ පසුව ශ්‍රී ලංකා පිල ආදේශන තුනක් සිදු කළ අතර නිපුණ බණ්ඩාර, සංඛ හා සුභාෂ් මධුසංඛ ඉවත් කොට සජිත් චමීර, නිරේෂ් සුන්දරරාජ හා ධනුජ මදුෂාන් පිටියට කැඳවූහ.

තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු ඩඩ්ලි ස්ටැන්වෝල් පැවැසූවේ මැකෝවා සමග තරගයේදී යම් පෙරැළියක් කිරීමට අපේක්ෂා කරන බවය.

මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ කණ්ඩායම් තුනක් සිටින අතර බෲනායි පිල තරගයක් ජයගෙන ඉදිරියෙන්ම සිටී. නේපාලය සහභාගීවූ තරගය ජය පරාජයෙන් තොරව නිමා කොට දෙවැනි ස්ථානයේ සිටින අතර ටිමෝරය තරග දෙකම පරාජයවී ඇත. නේපාලය හා ටිමෝරය අතර තරගය හෙට පැවැත්වීමට නියමිතය.

Comments

comments

SHARE