තරංග සහ ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩ ගනී

542
0

තිකරුවන්ට යෝග්‍ය තණතීරුවකදී ලකුණු 112 කට කඩුලු 4 ක් අහිමි කරගත් නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 143 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ උපුල් තරංග (79) සහ ධනංජය ද සිල්වා (නොදැවී 100) හරාරේ නුවරදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කිසියම් ගෞරවනීය ස්ථානයක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියහ.

තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලකුණු 290 ක් ලබා සිටියේය.

සිය 5 වැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින ධනංජය ද සිල්වා නිකැළැල් ඉනිමක් ක්‍රීඩා කරමින් තමාගේ 9 වැනි ටෙස්ට් ඉනිමේදී ලකුණු 500 සීමාව පසුකර ගියේය.

ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පසුගිය අගෝස්තු මාසයේදී ටෙස්ට් හිස්වැස්ම දිනාගත් මෙම දකුණත් පිතිකරුවා මේ දක්වා ක්‍රීඩා කළ ටෙස්ට් ඉනිම 9 දී ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් වාර්තා කර තිබේ.

පලමු දිනයට තරගය නතර කරන විට පන්දු 197 කට මුහුණ දී සිටි ධනංජය සිල්වාගේ ඉනිමට කවර්ස් කලාපය සහ මිඞ් විකට් කලාපය හරහා ගැසූ අලංකාර හතරේ පහර 11 ක් ඇතුළත් වී තිබිණ.

ඉදිරිපෙළ පිතිකරුවන් නිකරුණේ දැවී යද්දී කණ්ඩායමේ බර කරට ගත් උපුල් තරංගගේ ඉනිම නිමා වන විට ඔහු මුහුණ දුන් පන්දු 155 න් 8 ක් හතරේ සීමාව පසුකර ගොස් තිබිණ.

ග්‍රැහැම්  ක්‍රීමර්ගේ පන්දුවක් තරංගගේ පිත්තේ යාන්තමින් ගෑවී ස්ලිප්හි සිටි හැමිල්ටන් මසකඞ්සා අත රැඳුණද විනිසුරු සයිමන් ෆ්‍රයි මහතා කීවේ එය නොදැවීමක් ලෙසිනි.

එහෙත් මෙම තරගයේ සිට ටෙස්ට් තරගාවලියට එක්වන විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයෙන් උපුල් තරංග දැවී ගිය ක්‍රීඩකයකු ලෙස සනාථ කෙරිණ.

උපුල් තරංග දැවී යාමෙන් පසුව ධනංජයට එක්වූ අසේල ගුණරත්න පන්දුවට පහර දීමේ අවස්ථාව වැඩි වශයෙන් ධනංජය සිල්වාට දෙමින් පළමු දිනයේදීම ශතකය කරා යාමට ඔහුට අවස්ථාව සැලසූවේ දෙවන දිනයේ පෙරවරුවෙදී ඇතිවියහැකි පීඩනයෙන් ඔහු මුදවාලමිනි.

“කණ්ඩායමේ සිටින පිතිකරුවන් අතර අවසන් දෙදෙනා අප දෙන්නායි. එනිසා මගේ උවමනාව වුණේ පලමු දිනය පුරාත්,  හැකි තරම් ඕවර සංඛ්‍යාවකුත් පන්දුවට පහර දීමයි” යයි තරගය නිමකර ක්‍රීඩාගාරයට පිවිසීමෙන් පසුව ධනංජය ද සිල්වා පැවසීය.

ශ්‍රී ලංකා නායක රංගන හේරත්ට කාසියේ වාසිය අහිමි වූ නමුත් පළමුවෙන් පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකා පිලට ලැබිණ.

එහෙත් කඩුලු 4 ක් ලකුණු 112 කට බිඳ වැටීම ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්‍ෂා නොකළ අකරතැබ්බයක් විය.

දෙවැනි  ඕවරය නිමා වීමත් සමගම ක්‍රීඩකයන් දෙදෙනකු වෙනුවෙන් ආදේශකයන් යෙදවීමට සිම්බාබ්වේ පිලට සිදුවිය.

එහෙත් එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනිමට අසමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමු දින දිවා ආහාරය වන විට කඩුලු 3 ක් අහිමි කරගෙන තිබිණ.

දිවා ආහාරයත් තේ පානයත් අතරතුර යැවුණු ඕවර 31 දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත්තේ ලකුණු 82 ක් පමණක් වුවත් අහිමි වූයේ කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල පමණි.

එතැන් සිට ප්‍රවේසමෙන් තම කඩුලු ආරක්‍ෂා කරගනිමින් ලකුණු 187 ක් දක්වා තම පිල කැඳවාගෙන ඒම තරංග සහ ධනංජය ද සිල්වා සමත් වූහ.

තේ පානයෙන් පසුව තවත් ලකුණු 103 ක් ශ්‍රී ලංකා පිලට එක්වෙද්දී උපුල් තරංගගේ කඩුල්ල අහිමි විය.

දිවා ආහාරයට විනාඩි 5 ක් තිබියදී කාල් මම්බා විසින් යවන ලද පන්දුවක් හමුවේ කෞෂාල් සිල්වා කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූයේ යයි විනිසුරු සයිමන් ෆ්‍රයි මහතා තීරණය කළත් රූපවාහිනී ප්‍රතිදර්ශන වලින් දැකගත හැකිවූයේ එම පන්දුව කෞෂාල් සිල්වාගේ පා ඉන්නෙන් ඉවතට ඇදී යන බවයි.

පළමු ටෙස්ට් තරගයේදී නොතිබූ විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය මෙම තරගයට තිබෙන නමුත්  විනිසුරුවරයාගේ තීරණය නැවත විමසීම සඳහා කෞෂාල් සිල්වා ප්‍රමාද වූ හෙයින් ඔහුගේ ඉල්ලීම නිෂ්ප්‍රභා කෙරිණ.

පළමු ඕවරය යැවූ කාල් මම්බා ඕවරය යැවීමෙන් පසුව ක්‍රීඩාගාරයට ගිය අතර දෙවැනි ඕවරය වන විට නොන්ඩි ගසමින් සිටි මැල්කම් වොලර්ද ආපසු ක්‍රීඩාගාරයට ගියේය.

වොලර්ගේ දණහිසට අයිස් තබා එය ඔතාගෙන සිටිනු පසුව දැකගත හැකි විය. එහෙත් මඳ වේලාවකට පසුව පිටියට පැමිණි ආරම්භක පන්දු යවන්නා, කුසල් පෙරේරාගේ උඩපන්දුව ඉහළ යන විට දෑස් දල්වාගෙන ඒ යටට වී සිටියේය.

ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු දෙකම බිඳ වැටුණේ පිතිකරුවන්ගේ හිතුවක්කාර පහර හේතුවෙනි. පිට ඉන්නට බොහෝ ඈතින් ගිය පන්දුව පසුපස හඹා යමින් ‘බැක් කට්’ පහරක් ගැසීමට උත්සාහ කළ දිමුත් කරුණාරත්නගේ උඩපන්දුව රැකගැනීමට ගලීහි සිටි ෂෝන් විලියම්ස්ට එතරම් අපහසු නොවීය.

එහෙත් අංක 3 පිතිකරුවා ලෙසින් පැමිණි කුසල් පෙරේරාගේ පන්දුවට පහර දීමේ රටාව නම් ටෙස්ට් පිතිකරුවකුට ගැලපෙන්නේද යන්න නැවතත් සිතා බැලිය යුතුව තිබේ.

හෙළයේ මහා ගාන්ධර්වයා වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන්ගේ අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කළු අත් පටි බැඳ අද තරග බිමට පිවිසියහ.

Comments

comments

SHARE