අසේල ශ්‍රී ලංකාව ඔසවා තබයි

9898
0

සිය දෙවැනි ටෙස්ට් තරගයේදීම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අසේල ගුණරත්න සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේ නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ඊයේ දෙවැනි දිනයේ සියලු ගෞරව දිනාගනිමින් ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 504 දක්වා ඉහළ දැමීමට සමත්විය.

ශ්‍රී ලංකා පිලේ මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 5කට ලකුණු 255ක්ව තිබියදී පෙරේදා පස්වරුවේ පිටියට පිවිසි අසේල ගුණරත්න ඊයේ පස්වරු තේ පානයට මොහොතකට පෙර ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ අගනා ශතකයකට හිමිකම් කියමිනි.

පන්දු 193කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හ‍යේ පහරක් සමග ලකුණු 116ක් රැස් කළ අසේල දැවී ගියේ ෂෝන් විලියම්ස්ගේ පන්දුවකටය.

අනතුරුව පස්වරු තේ පානයෙන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ පිලට දැඩි පීඩනයක් ගෙනදුන් නායක රංගන ‍හේරත් සුරංග ලක්මාල් සමග පන්දු යැවීම ආරම්භ කරමින් ප්‍රතිවාදී පිල අසීරුතාවට පත් කළ අතර මුලු ලකුණු සංඛ්‍යාව 17ක්ව තිබියදී තීරණාත්මක 6 වැනි ඕවරය යවමින් පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දැමුවේ ටීනෝ මවෝයෝ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමිනි. ඒ ඕවරයේදිම සිවුවැනි පන්දුවෙන් හැමිල්ටන් මැසකඩ්සා ලකුණු ලබාගැනීමටත් පෙර ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට හෙතෙම සමත්විය.

එහෙත් ඉන් අනතුරුව තුන්වැනි කඩුල්ලට ලකුණු 109ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සිම්බාබ්වේ ඉනිම පිළිසකර කිරීමට බ්‍රයන් චාරි සහ ක්‍රෙග් අර්වින් සමත්වූයේ ඔවුනොවුන් අතර අගනා අර්ධ ශතක දෙකක් ද බෙදා ගැනීමෙනි.

දිනය නිමාවට පත්වෙද්දී චාරි සහ අර්වින් දෙදෙනාම නොදැවී ලකුණු 60 බැගින් රැස් කරමින් සිම්බාබ්වේ පළමු ඉනිම ලකුණු 126 දක්වා ඉහළ දැමීමට සමත්වූහ. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පි‍ලේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාවට වඩා තවත් ලකුණු 378ක් පසුපසින් සිටින්නේ තවත් කඩුලු 8ක් ද අතැතිවය.

ඊයේ දිවා ආහාරය වනවිට ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 414ක් රැස් කොට තිබිණි. පෙර දිනයේ නොදැවී සිය ශතකය සම්පූර්ණ කරගෙන සිටි ධනංජය ද සිල්වා ඊයේ උදෑසන සිට මැනවින් පන්දුවට පහරදුන් අතර ඔහුට අගනා සහයක් ගෙන දුන් අසේල ගුණරත්න සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 87ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්විය.

මුලු ලකුණු සංඛ්‍යාව 342 ක්ව තිබියදී ධනංජයගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි දිල්රුවන් පෙරේරා 7 වැනි කඩුල්ලට අසේල සමග එක්ව ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 56ක් විය.

අනතුරුව නායක රංගන හේරත් සමග එක්වී අටවැනි කඩුල්ලට ලකුණු 75ක සම්බන්ධතාවක් ගොඩ නැගූ අසේලට සිය මංගල ටෙස්ට් ශතකය රැස් කිරීමට අගනා සහයක් ලබාදුන්නේ අවසන් කඩුල්ල ලෙස පිටියට පිවිසි ළහිරු කුමාරය.

Comments

comments

SHARE