කැන්ගරුවෝ මව් බිමේදී පරදියි

597
0

කගීසෝ රබාඩාගේ දක්ෂ පන්දුයැවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 177 ක ජයක් අත්කරගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම  සමත් විය.

මින් පෙර පැවැති එක්දින තරගාවලියේදී ලද 5-0 ක පරාජයත් සමගින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සිය රටේදී දකුණු අප්‍රිකාවන් හමුවේ පිට පිටම පරාජයට පත්වූ 6 වැනි අවස්ථාව මෙයයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 539 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 361 කට සීමා කිරීමට රබාඩා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දුයවන්නෝ සමත් වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කගීසෝ රබාඩා ලකුණු 92 කට කඩුලු 5 ක් දවාගනිමින් ඕස්ටේ්‍රලියානු පිතිකරුවන් අසරණ කළේය.

අවසන් දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 169 ක් ලබා දකුණු අප්‍රිකාවට වඩා තවත් ලකුණු 370 ක් පසුපසින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 5 වැනි කඩුල්ල ලකුණු 196 දී බිඳවැටිණ.

එහිදී ලකුණු 26 ක් ලබා සිටි ෂෝන් මාෂ් දැවීගියේ රබාඩාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙනි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට උස්මාන් කවාජා (97) සහ පීටර් නෙවිල් (නොදැවී 60) සමත් වූ අතර මුලු ලකුණු සංඛ්‍යාව 246 ක් වන විට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගනිමින් උස්මාන් කවාජා පිටියෙන් ඉවත් කිරීමට ජේ. පී. ඩුමිනි සමත් විය.

ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස දැවීයන විට කවාජාගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් වී තිබිණ. පීටර් නෙවිල්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් අන්තර්ගත විය.

එතැන් සිට මුලු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 16 ක් එක්වන විට රබාඩාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන් මිචෙල් ස්ටාක්ද ලකුණු 13 කට දැවී ගියේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි පීටර් සිඞ්ල්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට වර්නන් ෆිලැන්ඩර් ඉඩ නොදුන් අතර ලකුණු 13 ක් ලබා සිටියදී ඔහුද කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන් ආපසු ක්‍රීඩාගාරය බලා ගියේය.

ඉන් පසුව පීටර් නෙවිල් සමග එක්වූ ජොස් හෙසල්වුඞ්, 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර ඩීන් එල්ගර් අතට උඩ පන්දුවක් දෙමින් ටෙම්බා බවුමාගේ පළමු ටෙස්ට් කඩුල්ල ලෙස දැවීයන විට හෙසල්වුඞ් ලකුණු 29 ක් ලබා සිටියේය.

අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසි නේදන් ලයන්ගේ ඉනිම ලකුණු 8 කට සීමාකිරීමට කේෂව් මහරාජ් සමත් වූයේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 242
(ෆෆ් ඩුප්ලෙසීස් 37, ටෙම්බා බවුමා 51, ක්වින්ටින් ඩිකොක් 84, මිචෙල් ස්ටාක් 71/4, ජොෂ් හේසල්වුඞ් 70/3, නේතන් ලයන් 38/2)

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 244
(ඬේවිඞ් වෝනර් 97, ෂෝන් මාෂ් 63, ඇඩම් වෝගස් 27, පීටර් නෙවිල් 23, වර්නන් ෆිලැන්ඩර් 56/4, කේෂව් මහරාජ් 56/3, කගීසෝ රබාඩා 78/2)

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම – සියලුදෙනා දැවී 540
(ඩීන් එල්ගර් 127, ජේ. පී. ඩුමිනි 141, ෆෆ් ඩුප්ලෙසීස් 32, ක්වින්ටින් ඩිකොක් 64, වර්නන් ෆිලැන්ඩර් 73, කේෂව් මහරාජ් නොදැවී 41, පීටර් සිඞ්ල් 62/2, මිචෙල් මාර්ෂ් 77/2, ජොෂ් හේසල්වුඞ් 107/2)

ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 361
(ඩේවිඩ් වෝනර් 35, උස්මාන් කවාජා 97, ස්ටීවන් ස්මිත් 34, ෂෝන් මාෂ් 26, පීටර් නෙවිල් නොදැවී 60, ජොෂ් හේසල්වුඞ් 29, කගීසෝ රබාඩා 92/5)

Comments

comments

SHARE