ශ්‍රී ලංකාව ලකුණු 334ක් ඉදිරියෙන්

269
0

ලකුණු 232 ක වාසියක් තබාගනිමින් දෙවැනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා පිල හරාරේ නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයට තරගය නතර කරනවිට කඩුලු 4 ක් දැවී  ලකුණු 102 ක් රැස්කරමින් සිම්බාබ්වේ පිලට වඩා ලකුණු 334 ක් ඉදිරියෙන් සිටිමට සමත්විය.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 54 ක් සහ අසේල ගුණරත්න නොදැවී ලකුණු 6 ක් ලබාගනිමින් කඩුල්ලේ රැදී සිටිති.

තේ පානයෙන් පසු අවසන් හෝරා දෙකේදී මන්දගාමී ලකුණු රැස්කිරීමක නිරතවූ ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් හට ඕවර 33 කදී කඩුලු 4 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 89 ක් පමණී.

ලකුණු 17 ක් ලබාසිටි උපුල් තරංග කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගනිමින් දවාගැනීමට ග්‍රේම් ක්‍රීමර් සමත්වූ අතර තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 9 ක් ලබාසිටි ධනංජය ද සිල්වා දවාගැනීමට කාල් මුම්බා සමත් වූයේය.

මුළු ලකුණු සංඛ්‍යාව 16 ක් වනවිටදී කෞශාල් සිල්වා සහ කුසල් මෙන්ඩිස් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට කාල් මුම්බා සමත්විය.

පිට පිට පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ පිලට ලබාදීමට හැකියාව තිබුණද දෙවැනි ඉනිම ඇරඹීමට ශ්‍රි ලංකා කණ්ඩාමේ නායක රංගන හේරත් තීරණය තිබුණී.

තනිවම සටන් වැදුණු රංගන හේරත් දවාගත් කඩුලු 5 නිසා තේ පානයට අඩහෝරාවක් පමණ තිබියදී සිම්බාබ්වේ පිල ලකුණු 272 කට දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 504 ක් ලබාගත් හෙයින් ශ්‍රී ලංකා පිලට ලකුණු 232 ක මුල් ඉනිමේ වාසියක් ලැබිණ.

ඉදිරි පෙළ වේග පන්දු යවන්නන් පස් දෙනකු පමණ විවිධ ආබායන්ට මුහුණ දී සිටින බැවින් ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගි වන්නේ දෙවැනි පෙළ වේග පන්දු යවන්නන් පිරිසක් සමගිනි.

එවන් තත්ත්වයක් තිබියදීත්, පන්දු යවන්නන්ට කිසිදු සහයෝගයන් නොලැබෙන තණතීරුවකදී නව පන්දුවෙන් පන්දු යැවීම තමන්ම පවරාගත් රංගන හේරත් දිවා ආහාරය වන විට බිඳ වැටුණු කඩුලු 5 න් 4 කටම වගකීවේය.

ඉනිම නිමා වන විට ඕවර 30 කදී ලකුණු 89 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත්ව සිටි ශ්‍රී ලංකා නායකයා තණතීරුවේ ස්වභාවය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව සිම්බාබ්වේ පිතිකරුවන් වෙත එල්ල වෙන පීඩනය දිගටම පවත්වාගෙන ගියේය.

දිවා ආහාරයත් තේ පානයත් අතර කාලයේදී කඩුලු 3 ක් දවාගැනීමට ඩිල්රුවන් පෙරේරා සමත් වීමෙන් සිම්බාබ්වේ පිලේ අවසන් කඩුලු 5 ම ලකුණු 19 කදී බිඳ වැටිණ.

Comments

comments

SHARE