ශ්‍රී ලංකා සහ එංගලන්ත ක්‍රීඩිකාවන් අද සිට කොලඹදී ගැටෙයි

212
0

මෙරට කාන්තා ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. ප්‍රාථමික මට්ටමේ සිට කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය දියුණු කිරීමට විශාල මුදලක් වැය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තු වී ඇත්තේ අනාගතයේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ ඉහළ දස්කම් දැක්වීමට පසුබිම සකස් කොට දීමට බව ද ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කරයි.

එංගලන්තය සමග අද ඇරැඹෙන එක්දින තරගාවලියේ දී නව නායකත්වයක් සහ නව පුහුණුකාරිත්වයක් යටතේ ජාතික කාන්තා පිලේ වෙනස්කම් රැසක් සිදුකොට ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. නව පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය මහතා සහ කාන්තා පිලේ නව නායිකාව ලෙස ඉනෝකා රණවීර පත් කරමින් හිටපු පුහුණුකරු ලංකා ද සිල්වා සහ හිටපු නායිකා චමරී අතපත්තු එම තනතුරුවලින් ඉවත් කිරිම පිළිබඳ අදහස් දක්වමින් ඈෂ්ලි ද සිල්වා මහතා එසේ කීවේ ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය සම්බන්ධව ඊයේ පස්වරුවේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

‘පුහුණුකරු සහ නායිකාව පමණක් නෙවෙයි. අපි අලුත් ක්‍රීඩිකාවන් පිරිසකුත් කණ්ඩායමට ඇතුළත් කොට තිබෙනවා. හිටපු පුහුණුකරු සහ නායිකාව හොඳින් කටයුතු නොකළ බවක් මින් අදහස් කරන්නේ නෑ. නමුත් අපි කල්පනා කරන්නේ වඩා හොඳ කුමක්දැයි තෝරා බේරා ගැනීමටයි. චමරි අතපත්තු නායකත්වයෙන් ඉවත් කළේ ඇයට පිතිහරඹය නිදහසේ පවත්වාගෙන යාමේ ඉඩ ලබාදීමටයි.’ ඔහු කීවේය.

වසර තුනකට පසුව එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු එක්දින තරගය අද (9) එස්.එස්.සී. පිටියේ දී පැවැත්වෙයි. තරග 4කින් සමන්විත මේ එක්දින තරගාවලියේ දෙවැනි, තුන්වැනි හා සිවුවැනි තරග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ශුරතාවලියට ඇතුළත් වෙයි.

වමතින් දඟපන්දු යවන ඉනෝකා රණවීරගේ නව නායකත්වය යටතේ මේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිල අයි.සී.සි. කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ අටවැනි ස්ථානයේ පසුවන අතර සංචාරක එංගලන්ත පිල පසුවන්නේ දෙවැනි ස්ථානයේය.

අද ඇරැඹෙන මේ තරගාවලිය ලබන මාසයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා තරගාවලියට සහ ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා කදිම පෙරහුරුවක් වනු ඇතැයි ඈෂ්ලි ද සිල්වා මහතා විශ්වාසය පළ කළේය.

කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව ඉතා සමබර කණ්ඩායමක් තමාට ලබා දී ඇතැයි මෙහි දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා නව ක්‍රිකට් නායිකා ඉනෝකා රණවීර කියා සිටියාය. මෙරට තුළ පැවැත්වෙන බැවින් එහි වාසියත්, දස්කම් පිරි නවක ක්‍රීඩිකාවන් රැසක් එක්වී ඇති නිසාත් මේ තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්විමට සිය කණ්ඩායමට හැකිවනු ඇතැයි ඇය සඳහන් කළාය.

දෙපිල අතර මෙතෙක් එක්දින තරග 9ක් පවත්වා ඇති අතර ඉන් තරග 7ක් ජයගැනීමට එංගලන්ත පිල සමත්වූ අතර එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත්විය.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය 12 වැනිදා ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන අතර තුන්වැනි තරගය 15 වැනිදාත්, අවසන් තරගය 17 වැනිදාත් පැවැත්වීමට නියමිතව ඇත්තේ ද ආර්.ප්‍රේමදාස පිටියේදීය.

Comments

comments

SHARE