සිම්බාබ්වේ පිල රංගන ඉදිරියේ දණ නමයි

718
0

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 5 බැගින් දවාලූ අවස්ථා ගණන 28 දක්වා ඉහළ නංවා ගත් ශ්‍රී ලංකා පිලේ නායක රංගන හේරත් සිම්බාබ්වේ පිල සමග හරාරේ නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය නිමාවනවිට පිට පිට දෙවැනි වරටත් කඩුලු 5ක් දවාලමින් ප්‍රතිවාදී කණ්ඩායම තවත් පරාජයක් වෙත ඇදගෙන යාමට සමත්විය.

ඊයේ පස්වරු තේ පානයට පෙර කඩුලු 9ක් දැවී ලකුණු 258ක් ලබා සිය දෙවැනි ඉනිම අත්හිටුවූ ශ්‍රී ලංකා පිල ලබාදුන් ලකුණු 491ක දැවැන්ත ඉලක්කය හඹා යන සිම්බාබ්වේ පිල දිනය නිමාවනවිට ලකුණු 180කට කඩුලු 7ක් බිඳ වැටී දැඩි අසරණ තත්ත්වයට ඇද වැටී සිටියේය. ඒ අනුව ඔවුන් තවත් ලකුණු 311ක් පසුපසින් සිටින අතර ටෙස්ට් තරගාවලිය 2-0කින් පූර්ණ ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිලට අවශ්‍යවී ඇත්තේ තවත් කඩුලු 3ක් පමණි.

සිය 75 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නායක හේරත් ඊයේ බිඳ දැමූ කඩුලු 5ත් සමග ඔහුගේ මුලු ‍ටෙස්ට් කඩුලු ප්‍රමාණය 348 දක්වා ඉහළ ගිය අතර 350 සීමාවට ආසන්නවී සිටී.

ලකුණු 491ක අසීරු ඉලක්කයක් ගෙන ඊයේ පස්වරු පිටියට පිවිසි සිම්බාබ්වේ දෙවැනි ඉනිමේ මුල් කඩුලු 3ම හේරත් දවාලු අතර මුලු ලකුණු සංඛ්‍යාව 113ක් ව තිබියදී ෂෝන් විලියම්ස් දවාලීමට ළහිරු කුමාර සමත්විය. අනතුරුව ධනංජය ද සිල්වාගේ පන්දුවකට මැල්කම් වොලර් පස්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වීමෙන් පසු ඉතිරි කඩුලු 2ම දවාලමින් සිය කඩුලු 5 සම්පූර්ණ කිරීමට හේරත් සමත්විය.සිම්බාබ්වේ පිල පරාජයෙන් බේරාගැනීමට හුදෙකලා සටනක නිරතව සිටින මැදපෙළ පිතිකරු ක්‍රෙග් අර්වින් නොදැවී ලකුණු 65ක් ලබා කඩුල්ලේ රැඳී සිටී.

ඊයේ උදෑසන කාලය පුරා අසේල ගුණරත්න සමග එක්ව ඉනිම ගොඩනැගූ කරුණාරත්න සිම්බාබ්වේ පිලේ පන්දු යවන්නන් මැනවින් පාලනය කරගැනීමට සමත්වූ අතර පස්වැනි කඩුල්ලට ලකුණු 69ක සම්බන්ධතාවක් ගොඩනැගිමට ද සමත්විය. ඊයේ දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා පිලේ බිඳ වැටුණු එකම කඩුල්ල බවට පත්වූ අසේල ආපසු ක්‍රීඩාගාරයට ගියේ ඩොනල්ඩ් ටිරිපානෝගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. දිවා ආහාරය වනවිට ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 177කි.

දිවා ආහාරයෙන් පසුව වඩාත් සාර්ථකව තරගයට අවතීර්ණ වූ සිම්බාබ්වේ පිලේ පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිලේ කඩුලු 4ක් දවාලීමට සමත්වීම කැපී පෙනුණි. ඒ අතරින් පෙරමුණ ගත් සිම්බාබ්වේ නායක ග්‍රෙහැම් ක්‍රීමර් කඩුලු 3ක්ම අත්කර ගත්තේය. දිවා ආහාරය වනවිට ‍නොදැවි ලකුණු 86ක් ලබා සිටි දිමුත් කරුණාරත්න ඉන් අනතුරුව යැවූ තුන්වැනි ඕවරයේදිම ක්‍රිස් මොෆූගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූයේ පිට පිට ලබාගැනීමට තිබූ සිය දෙවැනි ශතකයට ලකුණු 12ක් අඩුවී තිබියදීය. පන්දු 208කට මුහුණ දුන් කරුණාරත්න දර්ශනීය හතරේ පහර 8ක් එල්ල කිරීමට සමත්විය.

අනතුරුව දිල්රුවන් පෙරේරා ලකුණු 2කට දවාගත් ක්‍රීමර් ඔහුගේ ඊළඟ ඕවරයේදි ශ්‍රී ලංකා පිලේ නායක රංගන හේරත්ගේ කඩුල්ල බිඳ දැමුවේය. වේගවත් පිතිහරඹයක නිරතවූ කුසල් ජනිත් පෙරේරා ලකුණු 62ක් ලබා සිටියදී දවාලීමට ක්‍රීමර් සමත්වීමත් සමග ඉනිම අත්හිටුවීමට නායක රංගන ‍හේරත් තීරණය කළේය. පන්දු 69කට මුහුණ දුන් කුසල් ජනිත් හතරේ පහර 8ක් සහ එක් හයේ පහරකින් සිය ඉනිම වර්ණවත් කළේය.

අද තරගයේ අවසන් දිනයයි.

Comments

comments

SHARE