එංගලන්ත ක්‍රීඩිකාවන්ට පහසු ජයක්

227
0

පෙරළිකාර වෙනස්කම් රැසක් කරමින් පළමු එක්දින තරගයට එස්.එස්.සී. ක්‍රීඩා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වෘත්තීය මට්ටමේ පරිණතභාවය මේ යයි කදිමට කියා දුන් එංගලන්ත ක්‍රීඩිකාවෝ එම තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කරගත්තේ ඉනිම නිමාවිමට තවත් ඕවර 20 කුත් පන්දු 3 ක්ම ඉතිරිව තිබියදීය. මෙම ජයත් සමගින් තරග 4 කින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙසින් එංගලන්ත ක්‍රීඩිකාවෝ ඉදිරියට පැමිණියහ.

පිතිහරඹයටම උචිත එස්.එස්.සී. තණතීරුවේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 168 ක් පමණි. මේ පහසු ඉලක්කය ඕවර 29 කුත් පන්දු 3 කින් සම්පූර්ණ කළ එංගලන්ත ක්‍රීඩිකාවන් අහිමි කරගත්තේ කඩුලු 2 ක් පමණි.
ඒ වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවන්ගේ නිපුණතාවයි.

ශ්‍රී ලංකා කාන්තා පිලේ නව නායිකා ඉනෝකා රණවීර පළමුවරට කණ්ඩායම මෙහෙයවූ මේ තරගයේ ආරම්භක පිතිකාරිනියන් ලෙස උසස්වීමක් ලැබූ හසිනි පෙරේරා සහ නිපුනි හංසිකා පළමු කඩුල්ලට ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්වූවත් ඉන් අනතුරුව පැමිණි කිසිදු පිතිකාරිනියකට එවැනි සම්බන්ධතා පැවැත්විමට එංගලන්ත පන්දු යවන්නියෝ ඉඩ නොතැබූහ.

මුල් පෙළ පිතිකාරිනියන් පස්දෙනකුම ලකුණු 20 සීමාව පසුකිරීමෙන් පසුව අනවශ්‍ය පහර කරායාමෙන් නිකරුණේ කඩුලු පූජා කළහ. අංක 7 න් පිටියට පිවිසි හංසිමා කරුණාරත්න හැරුණුකොට අනිකුත් පිතිකාරිනියන් සියලුදෙනාම දැවී ගියේ උඩපන්දුවලිනි.

වෘත්තීය මට්ටමේ කණ්ඩායමක් වුවද ශ්‍රී ලංකා පිලෙන් ලැබුණු පහසු ඉලක්කය වෙත කල්පනාකාරීව ගමන් කිරිම ආරම්භ කළ එංගලන්ත ආරම්භක පිතිකාරිනියෝ දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 77 ක් එක් කළහ.

මුලු ලකුණු සංඛ්‍යාව 77 දී පළමු කඩුල්ල බිඳ වැටුණාට පසුව තවත් ඕවර 3 ක් ඇතුළත දෙවැනි කඩුල්ලත් දවාලීමට ශ්‍රී ලංකා පිල සමත්වූවත් එංගලන්ත පිලේ මැදපෙළ පිතිකාරිනියන් වන නායිකා හෙදර් නයිට් සහ නතාලි ෂිචර් එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 82 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැඟමින් එංගලන්ත පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

ශ්‍රී ලංකා කාන්තා පිල – ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 168 යි
(හසිනි පෙරේරා 26, නිපුනි හංසිකා 26, චමරී අතපත්තු 24, ඩිලානි මනෝදරා 27, ප්‍රසාදිනී වීරක්කොඩි 24, කැතරින් බ්‍රන්ට් 35/2, හෙදර් නයිට් 29/2)

එංගලන්ත කාන්තා පිල – ඕවර 29.3 කදී කඩුලු 2ක් දැවී ලකුණු 171 යි.
(ලොරේන් විනිෆීල්ඞ් 33, ටැමී බියුමොන්ට් 41, හීදර් නයිට් නොදැවී 45, නතාලී ෂිවර් නොදැවී 47, චමරී අතපත්තු 23/1, ඉනෝකා රණවීර 42/1)

Comments

comments

SHARE