වත්තල ලයිසියම් ශූරතාව රැක ගනී

73
0

ආසියානු ජාත්‍යන්තර පාසල සංවිධාන කළ 22වැනි ජාත්‍යන්තර පාසල් පිහිනුම් තරගාවලියේ සමස්ත ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.

පසුගියදා කොළඹ සුගතදාස ජාත්‍යන්තර පිහිනුම් තටාකයේදී අවසන් තරගාවලියේ දී වත්තල ලයිසියම් පාසල ප්‍රසාද ලකුණු 1267 ක් හිමිකරගත් අතර ප්‍රසාද ලකුණු 860ක් හිමිකරගත් කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලට අනුශූරතාව හිමි විය. මෙවර ජයත් සමඟ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පස්වැනි වරට මේ සමස්ත ශූරතාවය හිම්කම් කීවේය.

කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයම නියෝජනය වන පරිදි තරගාවලියට පිහිනුම් තරග ඉසව් 105ක් ඇතුළත් වූ අතර අවුරුදු 9න්, 10-11, 12-13, 14-15 හා 16න් ඉහළ ලෙස වයස් සීමා කාණ්ඩ 5ක් යටතේ කේවල තරග 84ක් හා කණ්ඩායම් තරග 22ක් මෙවර තරගාවලියට ඇතුළත් විය. ජාත්‍යන්තර පාසල් 21ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 836ක් තරගාවලියට සහභාගි විය.

ප්‍රසාද ලකුණු 860ක් ලබාගත් කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල සමස්ත තරගාවලියේ දෙවැනි ස්ථානයත්, ප්‍රසාද ලකුණු 754ක් හිමිකරගත් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල තෙවැනි ස්ථානයත් හිමිකර ගැනීමට සමත් වූ අතර 12 වරක් සමස්ත ශූරතාව දිනා තිබෙන සත්කාරක ඒෂියන් ජාත්‍යන්තර පාසලට මෙවර හිමි වූයේ 6 වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගවලට එක්වූ තරගකරුවන් කිහිපදෙනකුම 22 වැනි ජාත්‍යාන්තර පාසල් පිහිනුම් තරගාවලියට එක්ව සිටියහ. මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 39ක් බිහිවූ අතර කේවල තරග ඉසව්වලින් වැඩිම වාර්තා සංඛ්‍යාවකට හිමිකම් කීවේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල වන අතර කණ්ඩායම් තරග 22න් නව වාර්තා සමඟින් කණ්ඩායම් තරග ඉසව් 9 ක් ජයගැනිමට ඔවුන් සමත් විය.

ගේට්වේ ජාත්‍යන්තර පාසල කේවල තරග වාර්තා 5 ක් හා කණ්ඩායම් තරග වාර්තා 3 ක් සමග සමස්ත තරග වාර්තා 8ක් පිහිටවූ අතර ඕවර්සීස් ජාත්‍යන්තර පාසල කේවල වාර්තාවක් හා කණ්ඩායම් වාර්තාවක් සමගින් සමස්ත තරග වාර්තා දෙකකට හිමිකම් කීවේය.

විචර්ලි ජාත්‍යන්තර පාසල නියෝජනය කළ කයිල් අබේසිංහ කේවල නව තරග වාර්තා 2 ක් බිහි කිරීමට සමත් විය.

ඒෂියන් ජාත්‍යන්තර පාසල මේ තරගාවලිය 12 වතාවක් ජයගෙන ඇති අතර වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සිවූ වතාවක්ද, කොළඹ ජාත්‍යන්තර පාසල හා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල තෙවරක් බැගින්ද සමස්ත ශූරතාව දිනාගෙන තිබේ.

නෙස්ලේ ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව තරගාවලිය සංවිධාන කර තිබූ අතර ‘ග්ලිට්ස්’ විලාසිතා මන්දිරය සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළේය.

සමස්ත තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන

1.වත්තල ලයිසියම් 2167

2.කොළඹ ගේට්වේ 860

3.නුගේගොඩ ලයිසියම් 754

4.පානදුර ලයිසියම් 412

5.සී.අයි.එස්. ජාත්‍යන්තර පාසල 314

6.ඒෂියා ජාත්‍යන්තර පාසල 297

7.බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල 257

8.ඕවර්සීස් ජාත්‍යන්තර පාසල 226

9.එලිසබත් මොයර් ජාත්‍යන්තර පාසල 168

10.රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසල 148

Comments

comments

SHARE