මට ගහපු මඩ වලට එරෙහිව නඩු දානවා – කායවර්ධන හිටපු සභාපති

89
0

තමාගේ කීර්තිනාමයට හානිවන පරිදි ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ වත්මන් සභාපතිවරයා සහ හිටපු ලේකම්වරයාට එරෙහිව වන්දි මුදලක්‌ ඉල්ලා නඩු මඟට පිවිසීමට හිටපු කායවර්ධන සභාපතිවරයකු වන කේ. එච්. කපිල කුමාර මහතා පියවර ගෙන තිබේ.

වත්මන් සභාපති කිත්සිරි ප්‍රනාන්දු සහ හිටපු ලේකම්වරයකු වන හේමාල් ඩයස්‌ට එරෙහිව එලෙස වන්දි ඉල්ලා නඩු පවරා තිබෙන අතර ඔවුන් දෙදෙනාට අමතරව මාධ්‍ය ආයතනයකට එරෙහිව කෝටි තුනහමාරක වන්දි මුදලක්‌ ඉල්ලමින් කපිල කුමාර මහතා විසින් එම නඩුව පවරා තිබේ.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක්‌ ඉකුත්දා කොළඹදී පැවැති අතර එහිදී අදහස්‌ දක්‌වා සිටි හිටපු සභාපතිවරයා, මෙම පුද්ගලයන්ගේ ප්‍රකාශ නිසා තමන් දැඩි මානසික පීඩනයකට ලක්‌වූ බවත්, එම තත්ත්වය පිළිබඳව සලකා බලමින් එලෙස නඩු මාර්ගයට පිවිසීමට තීරණය කළ බවත් සඳහන් කර සිටියේය

”කායවර්ධන ක්‍රීඩාව දිගින් දිගටම වර්ධනයට කටයුතු කළ පුද්ගලයෙක්‌ වශයෙන් ඉකුත් කාලය මුළුල්ලේම විශාල වැඩ කොටසක්‌ කළා. එහෙම කටයුතු කරමින් සිටියත් ක්‍රීඩාව වට්‌ටන්න ඕන පිරිස්‌ මාව අයින් කරන්න නොයෙකුත් උපක්‍රම යෙදුවා. ඒ කිසිවක්‌ හරි ගියේ නැහැ. පස්‌සේ මම තනතුරින් ඉවත් වෙලා ඉන්න අවස්‌ථාවේදී මම කායවර්ධන සම්මේලන ගිණුමෙන් මුදල් ලබාගෙන තිබෙන බවට මොවුන් චෝදනා කළා. ඒ වගේමයි මට විරුද්ධව අපරාධ නඩුවක්‌ ගොනු කළා. කොහොම වුණත් ඒ සියල්ලම අභූත චෝදනා කියලා දැන් ඔප්පු වෙලා. එහෙම වුණත් ඒකෙන් තැලූනේ මම. මානසික පීඩනයකට ලක්‌වුණේ මම”යි කපිල කුමාර මහතා අදහස්‌ දැක්‌වීය.

unnamed-1මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කපිල කුමාර මහතා, හිටපු ලේකම්වරයකු වන හේමාල් ඩයස්‌ විසින් තමාට මාධ්‍ය ආයතනයක්‌ යොදවා මඩ ගැසීමේ උත්සාහයක නිරත වූ බවත් එම තත්ත්වය මත එම මාධ්‍ය ආයතනයට එරෙහිවද තමා වන්දි ඉල්ලා නඩු මගට පිවිසීමට කටයුතු කරන ලද බවත් සඳහන් කර සිටියේය.

”මෙහිදී ඔවුන් කිව්වේ මම චීනයට ගියා කියලා. ඒ දිනවල මම හිටියේ ලංකාවේ. ඒ ගැන ඔප්පු කරන්න මා ගාව ඕනෑ තරම් සාක්‌ෂි තියෙනවා. මට එහෙම චෝදනා කරන පුද්ගලයන් කායවර්ධන සම්මේලනයට අයත් චෙක්‌පතක්‌ මගින් රුපියල් ලක්‌ෂ පහක මුදලක්‌ ලබාගෙන තියෙන බවට වාර්තා වෙනවා. එහෙම කරලා තියෙද්දිත් මාව ඉලක්‌ක කරලා එල්ල කරනු ලබන මඩ ව්‍යාපාරයේ ඉවරයක්‌ නැහැ. ඒ පිළිබඳ සලකලා බලල තමයි මම නඩු මගට පිවිසීමට තීරණය කළේ”යි හිටපු සභාපති කපිල කුමාර අවධාරණය කරයි.

මෙහිදී සිය කීර්තිනාමයට වූ කැළල වෙනුවෙන් වත්මන් සභාපතිවරයාට එරෙහිව රුපියල් කෝටි දෙකක මුදලක්‌ද, හිටපු ලේකම් වූ හේමාල් ඩයස්‌ ට එරෙහිව රුපියල් කෝටියක මුදලකුත් මාධ්‍ය ආයතනයට එරෙහිව රුපියල් ලක්‌ෂ පනහකුත් වශයෙන් වන්දි ඉල්ලා හිටපු සභාපතිවරයා නඩු පැවැරීමට පියවර ගෙන තිබේ.

මෙම මාධ්‍ය හමුවට කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයකු සහ වත්මන් ප්‍රවීණ කායවර්ධන සම්මේලනයේ සභාපති තිලක්‌ ජයවීර සහ හිටපු භාණ්‌ඩාගාරිකවරයකු වන ඉන්දික ප්‍රනාන්දු යන මහත්වරුද සහභාගිවී සිටියහ.

Comments

comments

SHARE