මාර ගසක්‌ යට ඇරැඹුණු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමයේ 72වැනි උපන් දිනය

163
0

19 වැනි ශත වර්ෂය තෙක්‌ම, ඉංග්‍රීසි ජාතිකයන්ට පමණක්‌ සීමාවෙමින් තිබූ, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුකරණයේ ප්‍රථම දේශීය ප්‍රවිෂ්ටයේ ගෞරවය හිමිකර ගැනීමට ඩරී. එස්‌. ෆාරිස්‌ සහ ඒ. එස්‌. සොලමන්ස්‌ යන විනිසුරුවරුන් සමත් වූ අතර ඒ අතරිනුත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, රටින් පිටත ක්‍රිකට්‌ තරගයක්‌ විනිශ්චය කිරීමේ ප්‍රථම අවස්‌ථාව හිමිකරගත්තේ ඩබ්. එස්‌. ෆාරිස්‌ මහතාය.

එසේ කරළියට පිවිසුණු අප ක්‍රිකට්‌ විනිසුරුවන්, ඔවුන්ගේ ප්‍රබල අවශ්‍යතාවයක්‌ සපුරා ගනිමින් වර්ෂ 1944 දෙසැම්බර් මාසයේදී “ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන් සංගමයෙහි” ආරම්භය සනිටුහන් කරගත්තේය.

කොළඹ හැව්ලොක්‌ස්‌ පිටියේ දැවැන්ත මාර ගසක්‌ යටට ඒකරාශී වූ විනිසුරුවරුන් 15 දෙනකුගෙන් සමන්විත පිරිසක්‌, ඔවුන්ගේ අප්‍රතිහත ෙෙධ්‍යර්යය, කැප කිරීම් සහ දායකත්වය ඔස්‌සේ බිහි කළ මෙකී සංගමයේ පුරෝගාමී සභාපතිත්වය එවකට සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කතුවරයකු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කළ එස්‌. පී. ෆොනෙන්ඩර් මහතාට හිමිවූ අතර ඩොඩ්වෙල් සොයිසා මහතා ආරම්භක ලේකම්වරයා වශයෙන් ඉතිහාස ගත විය.

ප්‍රාරම්භක උප සභාපතිවරු වශයෙන් මේජර් ජනරාල් බ්‍රර්ට්‍රම් රසල් හයින්, එෆ්. ඔන්ඩච්චි, අයිරාසනායගම්, රොබට්‌ සේනානායක සහ එස්‌. අයි. කැම්බල් යන පතාකයින්ගෙන් ඉටු වූ සේවාව අතිමහත්ය.

එදා සිට අද දක්‌වා අඛණ්‌ඩව වසර 72 ක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට නිහඬව තම සේවාව සපයන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරු සංගමය මේ වන විට දිවයින පුරා සියලුම පළාත් සහ දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරමින් සාමාජිකයන් 686 දෙනෙකුගෙන් සමන්විත එකම ක්‍රිකට්‌ විනිසුරු සංගමය බවට පත්ව තිබේ.

ෆොනෙන්ඩර් මහතාගෙන් පසුව සංගමයේ අභිවෘද්ධිය උදෙසා තම නායකත්වය සැපයූ අය අතර රොබට්‌ සේනානායක, මේජර් ජෙනරාල් ආර්. ඩී. හයින්, සුන්දරම් පද්මනාදන්, ඡේ. එම්. ජයසිංහ, කැමිලස්‌ පෙරේරා, උපාලි මහානාම, ආර්. අයි. ටී. අලස්‌, ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක බන්දුල වර්ණපුර, එස්‌. ඩබ්. විමලරත්න, සමන් අමරසිංහ, හිටපු සහ වත්මන් අමාත්‍ය ලක්‌ෂ්මන් කිරිඇල්ල, අල්හාඡ් බාකිර් මාකර්, හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක හෂාන් තිලකරත්න, වර්තමාන බන්ධනාගාර කොමසාරිස්‌ එච්. එම්. එන්. සී. ධනසිංහ සහ නිහාල් පතිරගේ යන මහත්වරුන් දැක්‌විය හැක.

වර්තමාන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද අප සංගමයේ ගරු උප සභාපතිවරයකු වශයෙන් කටයුතු කර ඇත. මෙසේ සාඩම්බර උරුමයකට සහ අතීතයකට හිමිකම් පාන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරු සංගමයේ වර්තමාන ගරු සභාපතිත්වය අඛණ්‌ඩව සිව්වැනි වසරටත් ශිරෝෂ ගුණතිලක මහතා (2013 වසරේ සිට) විසින් දරන අතර වත්මන් ලේකම් ධුරය හොබවන්නේ තාසිම් ජුන්කීර් මහතාය.

සංගමයේ සාමාජිකයන්ගේ අතීත ජයග්‍රහණ සහ වාර්තා දෙස බැලූ විට, 1964 දී පාකිස්‌තානය සමග නිල නොලත් ටෙස්‌ට්‌ තරගයක්‌ විනිසුරුකරණයේ යෙදුණ ඡේ. එම්. සී. සහ ඡේ. එම්. ජයසිංහ යන සහෝදර යුගල එසේ කළ ප්‍රථම ශ්‍රී ලාංකික විනිසුරු යුගල හැටියට වාර්තා පොත්වලට එකතු වූ අතර එය මේ දක්‌වා නොබිඳී පවතින වාර්තාවක්‌ වීමද විශේෂත්වයකි.

තවද මෙම ජයසිංහ සහෝදරයන් එංගලන්ත ක්‍රිකට්‌ විනිසුරු සංගමයේ පූර්ණ සාමාජිකත්වයෙන් පිදුම් ලැබීමද සංගමය ලද තවත් කීර්තිනාමයකි. එසේ ලද කීර්තිනාමයත් සමග ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු සියලුම නිල නොලත් (ටෙස්‌ට්‌ වරම් ලැබීමට ප්‍රථම) විදෙස්‌ තරග සඳහා විනිසුරු දායකත්වය සැපයීම සිදුකෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරු සංගමය හරහා වීම විශේෂත්වයකි. සංගමයේ සාමාජික යුගලක්‌ වන එච්. ෆෙලිසිංගර් සහ කේ. ටී. ෆ්‍රeන්සිස්‌ යන මහත්වරුන් 1982 දී ඕවල් ක්‍රීඩා පිටියේදී පැවැති ශ්‍රී ලංකාවේ පළමු ටෙස්‌ට්‌ තරගය වූ එංගලන්තයට එරෙහිව පැවැති තරගය විනිශ්චය කටයුතු කිරීම තවත් සංධිෂ්ටානයක්‌ වන අතර 2012 වර්ෂයේදී ලොව හොඳම ක්‍රිකට්‌ විනිසුරු වශයෙන් අභිෂේක ලැබූ කුමාර් ධර්මසේන මහතා තවමත් සංගමය වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වය සපයන ලොව පළමු පෙළ (එලයිට්‌) විනිසුරුවරයෙකි.

සංගමයේ සේවාදායකයන් පිළිබඳ සැලකීමේදී අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පවතින ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ සංගමයේ එකම ක්‍රිකට්‌ විනිසුරුකරණ සහායකයා වන්නේද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමයයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ උන්නතියට විශේෂයෙන් බලපාන්නා වූ පාසල් ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේ වයස්‌ කාණ්‌ඩ 4 ක්‌, (13, 15, 17 සහ 19) යටතේ වර්ෂය පුරා තරග 7000 ක්‌ පමණ දිවයින පුරා පවත්වන අතර ඒ සෑම තරගයක්‌ සඳහාම විනිසුරුවරුන් සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමයට හැකිවී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරු සංගමයට අනුබද්ධ යාපනය දිස්‌ත්‍රික්‌ ක්‍රිකට්‌ විනිසුරු සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරු සංගමයේ දකුණු පළාත්(ගාල්ල, මාතර, හම්බන්තොට), මධ්‍යම පළාත්(මහනුවර, මාතලේ, නුවරඑළිය), බස්‌නාහිර පළාත්(කොළඹ, කළුතර, ගම්පහ), වයඹ පළාත්(කුරුණෑගල, හලාවත, පුත්තලම) උතුරු මැද පළාත්(අනුරාධපුර, පොලොන්නරුව), සබරගමුව පළාත සහ නැගෙනහිර පළාත වශයෙන් එකම පවුලක්‌ ලෙස කටයුතු කරන සංගමයේ සාමාජිකයන්ගේ කැපවීම සහ ධෛර්යය ඉතා ඉහළින් අගය කළ යුතු වේ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ සංගමයට අමතරව වෙළෙඳ සේවා ක්‍රිකට්‌ සංගමය, රාජ්‍ය සේවා ක්‍රිකට්‌ සංගමය, ආරක්‌ෂක සේවා ක්‍රිකට්‌ සංගම්(යුද හමුදා සහ පොලිස්‌ දෙපාර්තමේන්තු), පාසල් ආදි ශිෂ්‍ය ක්‍රිකට්‌ සංගම්, ක්‍රිකට්‌ ක්‍රීඩා සමාජ, බැංකු ක්‍රීඩා සමාජ, ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික ක්‍රිකට්‌ විද්‍යායතන ආදී මෙකී නොකී බොහොමයක්‌ ක්‍රිකට්‌ තරග සඳහා දායකත්වය ලබාදීම සිදුකරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමය මගින් ක්‍රිකට්‌ තරග නීති රීති සහ එහි පවත්නා ජීව ගුණය පිළිබඳව වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීමේ වගකීමද දරනු ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාව සම්බන්ධව වගකීම දරන ආයතනය වන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සමගද ඉතාම සුහදශීලීව කටයුතු කරන අප සංගමය, ඔවුන් සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම(ප්‍රිමියර්) ක්‍රිකට්‌ තරගාවලිය, සරා කුසලාන තරගාවලිය, ඩොනවන් ඇන්ඩි්‍ර තරගාවලිය සහ අනෙකුත් කාණ්‌ඩවල තරගාවලි සඳහාද විනිසුරුවරුන් සැපයීමේ දායකත්වය සිදුකරයි.

ක්‍ෂේත්‍රයේ සියලුම විනිසුරුවරුන්ගේ තත්ත්වය, දැනුම සහ සාමූහිකත්වය හැම විටෙම අපේක්‌ෂා කළ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමයේ අනාගතය සුබවාදී එකක්‌ වනු දැක්‌ම සැමගේ ප්‍රාර්ථනයයි.

එස්‌. රුසිරු ද සිල්වා
සහකාර ලේකම් සහ කළුතර දිස්‌ත්‍රික්‌ සභාපති
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනිසුරුවන්ගේ සංගමය

Comments

comments

SHARE