තුන් කොන් සටන අරඹමින් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අද තරග බිමට

962
0

ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් පිල සමග සිම්බාබ්වේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය ආරම්භ කරමින් අද (14) සිම්බාබ්වේ පිල සමග ශ්‍රී ලංකා කණ්ඩායම හරාරේ නුවර දි තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකා පිල උපුල් තරංගගේ නායකත්වයෙන් තරග වදින අතර සිම්බාබ්වේ පිලේ නායකයා ලෙස ග්‍රෙහැම් ක්‍රීමර් කටයුතු කරන අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 12.30ට තරගය ආරම්භ කෙරේ.

පළමු වරට රූපවාහිනි විනිසුරු ක්‍රමවේදය (ඩි.ආර්.එස්.) සිම්බාබ්වේ හි එක්දින තරග බිමට එක්වන අතර ඊට පෙර ශ්‍රි ලංකා පිල සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයට එම ක්‍රමවේදය ඇතුළත් කොට තිබිණි. දෙපිල අතර මෙතෙක් එක්දින තරග 47ක් පවත්වා ඇති අතර ඉන් තරග 39ක ජය ශ්‍රී ලංකාවට ද, තරග 7ක ජය සිම්බාබ්වේ පිලට ද හිමිවී තිබේ. තවත් එක් තරගයක් ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

දිනේෂ් චන්දිමාල් මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට නම්කොට තිබුණත් ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායමේ පළපුරුදු පිතිකරු උපුල් තරංගට නායකත්වය ලබාදීමට තේරිම් කමිටුව කටයුතු කොට තිබිණි. ශ්‍රී ලංකා පිලේ උපනායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා කටයුතු කරන අතර නුවන් කුලසේකර සහ ශෙහාන් ජයසූරිය යළි කණ්ඩායමට එක්වී සිටිති.

මේ අතර තවමත් එක්දින තරග වරම් නොලැබූ වේගපන්දු යවන කාර්ල් මුම්බා සහ පිතිකරු ටරිසායි මැසකඩ්සා සිම්බාබ්වේ එක්දින පිලට කැඳවා තිබේ. එමෙන්ම 2015 වසරෙන් පසුව පළමුවරට බ්‍රයන් චාරී, ටිනාෂී පනියන්ගරා සහ ක්‍රිස් මොෆූ ද කණ්ඩායමට ඇතුළත් වී සිටිති.

ශ්‍රී ලංකා සංචිතය – උපුල් තරංග (නායක), ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න,සචිත් පතිරණ, නුවන් කුලසේකර, දසුන් ශානක, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, ලක්ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩේසේ.

සිම්බාබ්වේ සංචිතය – ග්‍රෙහැම් ක්‍රීමර් (නායක), බ්‍රයන් චාරී, ටරිසායි මැසකඩ්සා, කාර්ල් මුම්බා, හැමිල්ටන් මැසකඩ්සා, චමූ චිබාබා, ක්‍රෙග් අර්වින්, ෂෝන් විලියම්ස්, පීටර් මුවර්, ඩොනල්ඩ් ටිරිපානෝ, ටිනාෂි පනියන්ගරා, සිකන්දර් රාසා, ටෙන්ඩායි ක්‍රිසෝරි, එල්ටන් චිගම්බුරා.

Comments

comments

SHARE