කායවර්ධන ක්‍රීඩකයින් තිදෙනෙකුට වැඩ වරදී

111
0

මෙරට කායවර්ධන ක්‍රීඩාවේ ජාතික තලයේ නියුතුව සිටින ක්‍රීඩකයන් තිදෙනෙකුට එරෙහිව තාවකාලිකව තරග තහනමක්‌ පැනවීමට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පියවර ගෙන තිබේ.

මෑතකදී පැවැති එක්‌තරා රූපවාහිනී නාලිකාවක සංවාදයකට සහභාගිවෙමින් ක්‍රීඩකයන්ට උචිත නොවන, ව්‍යවස්‌ථා විරෝධී හා විනය විරෝධී ලෙස හැසිරුණේ යෑයි චෝදනා ලැබීම මත එම ක්‍රීඩකයන් තිදෙනාට පරීක්‌ෂණයක්‌ පැවැත්වීමට කායවර්ධන විධායකය ඒකමතිකවම තීරණය කර තිබේ.

2014 වසරේ පැවැති ආසියානු කායවර්ධන තරගාවලියේ රන් පදක්‌කම් ලාභී නිරන්ජන් කුමාර, 2013 වසරේ මිස්‌ට ශ්‍රී ලංකා සහ 2014 වසරේ පැවැති ආසියානු කායවර්ධන තරගාවලියේ රිදී පදක්‌කම් ලාභී ලුෂන් ඇන්ටන් පුෂ්පරාඡ් මෙන්ම 2014 වසරේ පැවැති ආසියානු තරගාවලියේ රිදී පදක්‌කම් ලාභී රනිල් සම්පත් සිල්වා එලෙස තාවකාලික තරග තහනමකට ලක්‌වී සිටින ක්‍රීඩකයෝ වෙති.

අදාළ වැඩසටහනේදී ක්‍රීඩා අධ්‍යක්‍ෂක ජනරාල්වරයා සහ එහි නිලධාරීන්ටද මෙන්ම කායවර්ධන හා ශරීරික යෝග්‍යතා සම්මේලන නිලධාරීන් අගතියට පත්වන අයුරින් අදහස්‌ දැක්‌වීම මෙන්ම අභියෝගයට පත්වන අයුරින් ප්‍රශ්න ඇසීම තහනමට ලක්‌වී සිටින ක්‍රීඩකයන්ට එල්ල වී තිබෙන චෝදනා බවට පත්ව තිබේ. එමෙන්ම මොවුන් තිදෙනා අදාළ රූපවාහිනී සාකච්ඡාවට පැමිණ ඇත්තේද කායවර්ධන සම්මේලනයේ අවසරයකින් තොරව වීමද ඔවුන් වෙත එල්ල වී තිබෙන තවත් චෝදනාවකි.

එමෙන්ම ලෝක ක්‍රීඩාවේ දැවැන්තම පිළිකාවක්‌ ලෙසින් හැඳින්වෙන තහනම් උත්තේජක වලට පක්‌ෂපාතී ලෙස සහ ඒවා ලබා ගැනීම සම්බන්ධව ප්‍රසිද්ධියේ අදහස්‌ දැක්‌වීම මෙන්ම එම තහනම් උත්තේජක සම්බන්ධව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතන නිලධාරීන්ව හෙළා දැකීම සහ එම නිලධාරීන්ව අපහසුතාවයට පත්වන අයුරින් ප්‍රශ්න ඇසීම කිරීම තහනමට ලක්‌වී සිටින ක්‍රීඩකයන් වෙත එල්ල වී තිබෙන බරතලම චෝදනාව වී ඇත.

තහනම් උත්තේජනවලින් ක්‍රීඩාව බේරා ගැනීම සම්බන්ධව වත්මන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවා සෘජුවම දායකත්වයක්‌ ලබාදෙන අවස්‌ථාවකදී තහනම් උත්තේජක වලට පක්‌ෂපාතී ලෙසින් ක්‍රීඩකයන් මෙආකාරයෙන් අදහස්‌ දැක්‌වීම කිසිසේත්ම ක්‍රීඩකයන් ලෙසින් උචිත නොවන බව සඳහන් කර සිටි වත්මන් කායවර්ධන සම්මේලන ලේකම් නිහාල් වීරතුංග මහතා එම තත්ත්වය ප්‍රධාන කොට එලෙස විනය ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට පියවර ගත් බව දුරකතනයෙන් “දිවයින” හා සම්බන්ධ වෙමින් අදහස්‌ දැක්‌වා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි ලේකම්වරයා, විධායක සභාවේ ඒකමතික තීරණය අනුව ගනු ලැබූ විනය පරීක්‍ෂණය අවසන් වන තෙක්‌ එම ක්‍රීඩකයන් තිදෙනා හට කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර තරග මෙන්ම කිසිදු ප්‍රවර්ධන වැඩසටහනක්‌ සහභාගිවීමේ අවස්‌ථව අහිමි වන බවද සඳහන් කර සිටියේය.

මේ පිළිබඳව අදාළ ක්‍රීඩකයින් තිදෙනාම මේ වන විටත් ලි තවම දැනුවත් කර තිබෙන අතර එහි පිටපත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රීඩා අධ්‍යක්‍ෂක ජනරාල් රුවන් බණ්‌ඩාර, ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ආයතනය මෙන්ම ආසියානු කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලන විධායක සභා නිලධාරී කපිල කුමාර යන මහත්වරුන් වෙතද යොමු කිරීමට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය පියවර ගෙන තිබේ

Comments

comments

SHARE