ශ්‍රී ලංකාව පලමු කඩඉම පනී

328
0
Sri Lanka players celebrate a good bowling innings during the opening match of an ODI series Sri Lanka vs Zimbabwe in Harare, on November 14 2016. / AFP PHOTO / Jekesai Njikizana

බ්ලූ මවුන්ටන් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ හරාරේහි පැවැති පළමු තරගයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ජයග්‍රහණය සදහා ලකුණු 155 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 24.3 කදී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්තේය.

දක්ෂ පිතිහරඹයක නිරතවූ ධනංජය ද සිල්වා තම එක්දින දිවියේ දෙවැනි අර්ධ ශතකය (නොදැවී 78) ලබාගනිමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර පන්දු 75 කදී වාර්තාවූ ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් විය.

කුසල් ජනිත් (21) සමග එක්ව පළමු කඩුල්ල සදහා ලකුණු 56 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ධනංජය ද සිල්වා දෙවැනි කඩුල්ලට නිරෝෂන් දික්වැල්ල (41) සමග එක්ව ලකුණු 84 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගුවේය.

ශ්‍රී ලංකා ඉනිම අරඹමින් ටිනෂී පන්‍යන්ගාරා යැවූ පළමු පන්දුව ධනංජය ද සිල්වාගේ පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින පීටර් මූවර්ගේ අත් ආවරණවල රැදුණද, එය නිපන්දුවක් යැයි ප්‍රධන විනිසුරු තීරණය කිරීමත් සමගින් ඔහුට තවදුරටත් කඩුල්ලේ රැඳි සිටීමට වාසනාව උදාවිය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක උපුල් තරංගගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිලට ඕවර 41.3 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 154 ක් පමණි.
තරගය ආරම්භයේ සිටම සිම්බාබ්වේ පිතිකරුවන්ගේ ගෙල සිරකළ නුවන් කුලසේකර, සුරංග ලක්මාල් සහ සචිත් පතිරණ තිදෙනා එක්ව ඕවර 11 ක් තුළදී ලකුණු 29 කට කඩුලු 4 ක් බිම දමමින් සත්කාරක කණ්ඩායම පසු පාදයට ඇද දැමූහ. සිම්බාබ්වෙ පිලේ සිටින පළපුරුදුම පිතිකරුවන් දෙදෙනකු වන චාමු චිබාබා (එක්දින තරග 96) සහ එල්ටන් චිගුම්බුරා (එක්දින තරග 202 යි) පන්දු 3 ක් ඇතුළතදී ක්‍රීඩාගාරයට යැවීමට නුවන් ප්‍රදීප් සමත් වූ හෙයින් සිම්බාබ්වේ පිල නොසිතූ අමාරුවක වැටිණ.

මෙම තත්ත්වයෙන් කදිම ප්‍රයෝජන ගත් අසේල ගුණරත්න මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 7 කට 106 ක්ව තිබියදී පන්දු යැවීම ආරම්භ කරමින් ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත්තේ සිම්බාබ්වේ ඉනිම ලකුණු 154 කට සීමා කරමිනි.
ලකුණු 105 කට කඩුලු 7 ක් දැවී තිබියදී නායක ග්‍රේම් ක්‍රීමර් සමග එක්වූ ඩොනල්ඞ් ටිරිපානෝ මුළු ලකුණු සංඛ්‍යාව 136 ක් දක්වා ඉහළ දැමීමට සමත්විය. අසේල ගුණරත්නගේ මංගල එක්දින කඩුල්ල ලෙස නුවන් කුලසේකර අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 19 ක් ලබාසිටි ඩොනල්ඞ් ටිරිපානෝ දැවීයනවිට පන්දු 40 කට මුහුණදී තිබිණ.

නායක ග්‍රේම් ක්‍රීමර් එක්ව හත්වැනි කඩුල්ල සදහා ලකුණු 55 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩාවැටුණු සිම්බාබ්වේ ඉනිම යම්තාක් දුරට පිළිසකර කළ පීටර් මුවර් ලකුණු 47 ක් ලබාසිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට දැවීයන විටදී පන්දු 52 කදී හතරේ පහරක් සහ හයේ පහර 4ක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.

සචිත් පතිරණ පන්දු යැවීම ආරම්භ කරමින් 11 වැනි ඕවරයේදී යැවූ පළමු පන්දුවේදීම පළමු ස්ලිප්ස්හී පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වාට දුන් උඩපන්දුව අතහැරීම නිසා කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව ෂෝන් විලියම්ස්ට හිමිවුවද ඔහුගේ වාසනාව රැදී තිබූයේ තවත් පන්දු පහක් පමණී.

තම අත්දැකීම් උපයෝගී කරගනිමින් කඩුල්ල ආරක්ෂා කරගනිමින් කණ්ඩායමට අවශ්‍ය ලකුණු සොයා දියයුතු වුවද සුළු පමාවකින් තම කඩුල්ල පූජාකිරීමට ෂෝන් විලියම්ස්ට සිදුවිය. සචිත් පතිරණගේ පන්දුවකට නිරෝෂන් දික්වැල්ලගේ ස්ටම්ප්ස් කිරීමකට හසුවෙමින් ලකුණු 9 කට ෂෝන් විලියම්ස් දැවීයනවිට මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 4 කට ලකුණු 29 ක් ලෙස සටහන්විය.

Comments

comments

SHARE