කුසල්ට වින කෙටූ රසායනාගාර තහනම් කරයි

10762
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ තහනම් උත්තේජක චෝදනා තහවුරු කළ දෝහා කටාර් රසායනාගාරයේ සියලු පරීක්ෂණ කටයුතු ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය (WADA) අත්හිටුවීමට තීරණය කරයි. මේ පිළිබඳව ඊයේ දිනයේ දැනුවත්වූ බවත් එම රසායානාගාරයේ කටයුතු පරීක්ෂණයකට යටත් කොට මාස 4කට තහනම් කොට ඇති බවත් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනය සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා තහවුරු කළේය.

මේ තහනම පිළිබඳව ලොව පුරා සියලු ඔලිම්පික් කමිටු, අන්තර් ජාතික ක්‍රීඩා සංගම්, ජාතික ක්‍රීඩා අධිකාරීන් හා ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්ව ගණනාවක් දැනුවත් කිරීමට ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය (WADA) කටයුතු යොදා තිබේ. එයට අමතරව දැනට එම රසායානාගාරය සතුව ක්‍රීඩකයන්ගෙන් ලබාගෙන ඇති වෙනත් ලේ හා මූත්‍රා සාම්පල දින 14ක් ඇතුළත ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය (WADA) අනුමත රසායනාගාරයකට සුරක්ෂිතව යොමුකරන ලෙසටද නියෝග කොට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ පාකිස්තානය සමඟ පැවත්වූ තරඟාවලියේදී කුසල් ජනිත් පෙරේරා ගෙන් ලබාගන්නා ලද මූත්‍රා සාම්පලවල තහනම් උත්තේජක තිබූ බවට මේ දෝහා කටාර් රසායානාගාරය ලබාදුන් වාර්තාවක් අනුව ක්‍රීඩකයාට තාවකාලික තරග තහනමක් පැනවූ අතර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියද අහිමිවී ගියේය.

එම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ මැදිහත්වීමෙන් ජනාධිපති නීතිඥ දිනාල් පිලිප්ස්, කුසල් ජනිත්ගේ කළමනාකරු රවී ද සිල්වා යන මහත්වරුන් විසින් උතුරු කොළඹ (රාගම) ශීක්ෂණ රෝහලේ ජීව රසායනක විශේෂඥ වෛද්‍ය බී.කේ.ටී.පී. දයානාත් මහතා වෙත රසායනාගාර වාර්තා ලබාදුන් අතර එහිදී දෝහා කටාර් රසායනාගාර වාර්තාවේ අඩුපාඩු රැසක් සොයා ගැනීමෙන් අනතුරුව කුසල් ජනිත්ගේ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට හැකි විය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනය සභාපති මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පවසන්නේ දෝහා කටාර් රසායනාගාරය කුසල් ජනිත්ට මූල්‍ය වන්දියක් ගෙවීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවයි. ඒ සඳහා WADA ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද වන්දි ලබා ගැනීම වෙනුවෙන් පෞද්ගලිකවම මැදිහත්වන බව සිල්වා මහතා පැවැසීය.

“රසායනාගාරයේ කරපු වැරදක් නිසා මේ සියලු දේ වුණේ. WADA සංවිධානයටත් කිසිවක් කරන්න බැරි වුණා. ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඩේවිඩ් හව්මන් මහතා පෞද්ගලිකව හමුවී කුසල්ට වුණ අසාධාරණය ගැන පැමිණිලි කළා. ඒ අය පැවැසුවා වන්දි ලබාගන්න උදව් කරනවා කියා. එයට කුසල් ජනිත්ගේ නීතිඥවරයෝ කැපිවී සිටිනවා. හැබැයි මං හිතන්නේ කොපමණ සල්ලි දුන්නත් මදි කුසල්ට වූ අසාධාරණයට.” මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම කුසල් ජනිත්ට පෞද්ගලිකව දැරිමට සිදුවූ නීතිඥ සහ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු රුපියල් කෝටි තුනහමාරකට (රු 35,000,000) ආසන්න මුදලක් නැවත ලබාදීමටද ලෝක ක්‍රිකට් කවුන්සිල විධායක කමිටුව තීරණය කොට තිබේ.

Comments

comments

SHARE