තුන් කොන් සටනේ ශ්‍රී ලංකා දෙවන අභියෝගය අද

344
0

සිම්බාබ්වේ පිල කඩුලු 8කින් පරදවා තුන්කොන් එක්දින තරගාවලියේ සාර්ථක ආරම්භයක් ගත් උපුල් තරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) හරාරේ ක්‍රීඩාංගණයේදීම ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් පිල සමග සිය දෙවැනි තරගයට එක්වෙයි.

පෙරේදා පැවැති පළමු තරගයේ දී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට සිම්බාබ්වේ පිලට අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 154කට සීමා කිරීමට සමත්වූ අතර ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට වැය කළේ කඩුලු 2ක් සහ ඕවර 24.3ක් පමණි.

සුරංග ලක්මාල් සිම්බාබ්වේ ඉනිමේ පළමු ඕවරය යවමින් කඩුලු 2ක්ම දවාලීමෙන් පසුව සෙසු පිතිකරුවන් දැඩි පීඩනයකට හසු කළ නුවන් කුලසේකර, නුවන් ප්‍රදීප් සහ අසේල ගුණරත්න සිය කණ්ඩායමට ඉලක්කය පහසු කළහ.

අද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන මේ තුන්කොන් තරගාවලියේ දෙවැනි තරගයේ දී ද ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සිය දස්කම් එලෙසම රඳවා තබාගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවෙති.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මෙතෙක් පැවැති එක්දින තරග 54ක් අතරින් තරග 24ක් ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර තවත් තරග 27ක් පරාජයට පත්වී තිබේ. ඉතිරි තරග 3ම නිමාවට පත්වූයේ විසඳුමකින් තොරවය.

අවසන් වරට පසගිය වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියෙන් 3-0ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්විය. එබැවින් අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ අදිටන වී ඇත්තේ එම අපරාජිතභාවය තව දුරටත් පවත්වාගෙන යාමටය.

සිම්බාබ්වේ පිල සමග පෙරේදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ධනංජය ද සිල්වා පන්දු 75කදී නොදැවී ලකුණු 78ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යාමට සමත්වූ අතර අංක 3 ස්ථානයෙන් පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල පන්දු 38කදී ලකුණු 41ක් ලබාගැනීම ද කැපී පෙනුණි.

මේ තුන්කොන් තරගාවලියට පෙර පැවැති ටෙස්ට් තරගමාලාව 2-0කින් ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර මාසයකට ආසන්න කාලයක් පුරා සිම්බාබ්වේ හී රැඳී සිටිමින් එහි දේශගුණික තත්ත්වයට හුරුවී සිටීම ද අද තරගයේදී ශ්‍රී ලංකා පිලට අතිරේක වාසියක් වනු ඇත.

පසුගිය මස සාජා නුවර දී පාකිස්තානයට එරෙහිව විස්මිත ටෙස්ට් ජයග්‍රහණයක් අත්කරගැනීමට උරදුන් ශේන් ඩවුරිච් පළමුවරට කොදෙව් එක්දින කණ්ඩායමට කැඳවා ඇති අතර වේගපන්දු යවන මිගේල් කමින්ස් ද කණ්ඩායමට එක්වී සිටිති. අද තරගයේදී සිය සුපුරුදු සටන්කාමීත්වය ප්‍රදර්ශනය කිරීම කොදෙව් පිලේ අභිප්‍රාය වී තිබේ.

Comments

comments

SHARE